නොදැනුවත්වම අන්ධ වීමට පෙර දැනුවත්වෙමු

නොදැනුවත්වම අන්ධ වීමට පෙර දැනුවත්වෙමු
  • SocialShare:

ඔබගේ දෑස ඔබට කොතරම් වටිනවාද? මේ පැනයට පිළිතුරක් සංඛ්‍යාත්මකව දිය හැකිද? මේ පිළිබඳව සිතීමේදී ඕනෑම පුද්ගලයෙකුට තම දෑසෙහි වටිනාකම වෙනුවෙන් මෙතෙක් යැයි තක්සේරුවක් දිය නොහැකියි. එතරම්ම අප සැම දෙනාටම අපගේ දෑස ඉතාමත් වටිනවා. උපතේ සිට මරණය දක්වාම පැහැදිලි දෘෂ්ටියක් සමග ජීවත් වීමට සැමදෙනාම කැමතියි. නිරෝගී මිනිසුන් හට උපතෙන් හිමිවන පූර්ණ දෘෂ්ටිය නොදැනුවත්වම අහිමි වෙනවා නම් එය සැබැවින්ම අවධානයට ලක්විය යුතු ගැටලුවක් වනවා.

ග්ලෝකෝමාව ඔබ අප නොදැනුවත්වම අන්ධභාවය කරා ළඟා කරවනවා. අන්ධභාවයට බලපාන තුන්වන ප්‍රධානතම හේතුව ග්ලෝකෝමාවයි. මෙය මුල් අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර අක්ෂිගත පීඩනය වැඩි වීමෙන් ඇසේ දෘෂ්ටි ස්නායුවට හානි සිදුවීමෙන් ක්‍රමයෙන් දෘෂ්ටි ස්නායුව මැරීයාමක් සිදුවෙයි.

කල් ඇතිව ග්ලෝකෝමාව හඳුනාගැනීම මගින් පෙනීම ආරක්ෂා කරගත හැකි වනවා සේම ප්‍රතිකාර නොගැනීමෙන් සම්පූර්ණ අන්ධභාවයට පත්විය හැකියි. මෙම රෝගය මුල් අවදියේ වෛද්‍යවරයෙකුට පහසුවෙන් හඳුනාගත හැකිවෙනවා. එමනිසා වයස අවුරුදු 40ට වඩා වැඩි පුද්ගලයන් එක් වරක් හෝ තමන්ගේ දෑස් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගැනීම වැදගත්.

ග්ලෝකෝමා රෝගය වැළඳීමේ වැඩි අවධානමක් ඇත්තේ කාටද? දෙමාපියන්ගෙන් කෙනෙකුට ග්ලෝකෝමාව ඇතිනම් අවදානම පස්ගුණයකි. සහෝදර සහෝදරියන්ගෙන් කෙනෙකුට  ග්ලෝකෝමාව ඇතිනම් අවදානම නවගුණයකි. වයස අවුරුදු 60ට වැඩි අය අවදානම් කාණ්ඩයකි. ඇස් යට තැල්මක් වී ඇතිනම් අවදානමක් ඇත. ඉතා ඝනකම් උපැස් පළඳින අයද ග්ලෝකෝමාව සඳහා අවදානම් කොට්ඨාශයක් ලෙස පිළිගැනේ. දුර පෙනීමේ අඩුවක් පවතී නම් ඔබද අවදානම් තත්ත්වයෙහි පසුවේ. දියවැඩියාව පවතී නම් ඔබද මේ සඳහා අවදානම් ගණයට අයත් වේ.

ඔබට ග්ලෝකෝමාව පවතිනවාද යන්න පරීක්ෂා කරගන්නේ කෙසේද? ග්ලෝකෝමාව පරීක්ෂා කරගත හැක්කේ ඇසෙහි පීඩනය මැනගැනීමෙන් පමණයි. මෙහිදී දෘෂ්ටි ස්නායුව පරීක්ෂා කරගැනීම වැදගත් වෙනවා.

ග්ලෝකෝමාවට ප්‍රතිකාර කරන්නේ කෙසේද? ප්‍රධාන ආකාර 03ක් යටතේ ග්ලෝකෝමාවට ප්‍රතිකාර සිදුකරනවා. ඇසට දමන බිංදු, ලේසර් ප්‍රතිකාර හා ශල්‍යකර්ම එම ප්‍රතිකාර විදි ත්‍රිත්වයයි. මෙහිදී ඇසට දමන බිංදු ක්‍රමය රෝගයේ මුල් අවදියේ භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයයි.

ග්ලෝකෝමා රෝග තත්ත්වයක් පවතී නම් වෛද්‍යවරයා නියම කරන දිනට අක්ෂි සායනයට පැමිණීම වැදගත් වෙනවා. එමෙන්ම මේ සඳහා පවතින ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම මෙරට රජයේ රෝහල් වල අක්ෂි සායන මගින් රෝගීන්ට නොමිලේ සපයනවා.

ඔබගේ ප්‍රදේශයේ පවතින අක්ෂි සායනයක් ඇති ඕනෑම රෝහලකදී ඇසේ පීඩනය මැනගැනීම මගින් ග්ලෝකෝමාව හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.

නොදැනුවත්වම අන්ධ වෙනවාද? දැනුවත්වී අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවනවාද? ආරාධනය ඇස ගැන සිතීමටයි..

මෙවර ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු 09 සිට 15 දක්වා යෙදී ඇත. මේ වෙනුවෙන් දැනුවත් කිරීම සඳහා අද (05) කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් වූ කරුණු ඇසුරෙනි.

සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.