ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (24) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති අවිනිශ්චිතතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම සවිස්තරාත්මකව විමසා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
භූ දේශපාලනික අර්බුද තීව්‍ර වීමත් සමඟ ගෝලීය බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල ඇති වූ අවහිරතා හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සිදුවී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
කෙසේ වුවද, පෙබරවාරි 2026 වන විට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 1.6%ක් ලෙස, ඉලක්කගත 5%ට වඩා පහළ මට්ටමක පවතින බැවින්, එම බලපෑම් සඳහා මුහුණ දීමට ප්‍රමාණවත් අවකාශයක් පවතින බව සඳහන් වේ.
නවතම දත්ත අනුව, 2026 වසරේ දෙවන කාර්තුව වන විට උද්ධමනය 5% ඉලක්කය කරා ළඟා වනු ඇති බවත්, එය ඉන් අනතුරුව එම මට්ටම වටා ස්ථායීව පවතිනු ඇති බවත් අපේක්ෂා කෙරේ.
2025 වසරේදී, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ බාධා තිබියදීත්, ආර්ථිකය 5.0%ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇත. 2026 මුල් භාගයේදී එම බලපෑම්වලින් පසු ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ප්‍රධාන දර්ශකවලින් පෙන්වයි.
එමෙන්ම, 2026 මුල් මාසවලදී විදේශීය අංශයද යහපත් කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති අතර, අපනයන ආදායම් ඉහළ යාම, සංචාරක ආදායම් සහ විදේශ ප්‍රේෂණ වැඩි වීම ඒ සඳහා හේතු වී ඇත. පෙබරවාරි අවසන් වන විට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7.3 දක්වා ඉහළ ගොස් ඇති අතර, මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළඳපොළෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගැනීමටද කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බලශක්ති, සංචාරක, වෙළඳ හා ප්‍රේෂණ අංශ හරහා විදේශීය අංශයට බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බවද සඳහන් වේ. 2026 ආරම්භයේදී ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පැවතියද, පසුව යම්කිසි අවප්‍රමාණය වීමේ පීඩනයක් දක්නට ලැබී ඇත.
උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථාවර කරමින්, ආර්ථිකය උපරිම ධාරිතාවය කරා ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


