දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල ප්‍රමිතීන්ට අනුකූල වන ඇසුරුම්කරණ විසඳුම් පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් “කුළුබඩු සඳහා ඇසුරුම්කරණ උපාය මාර්ග” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා කොළඹදී සංවිධානය කරන ලදී.
EDB ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම වැඩමුළුවට අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් ඇතුළු 65කට අධික පිරිසක් සහභාගී වූහ. කුළුබඩු අපනයනයේදී අනුගමනය කළ යුතු හොඳම ඇසුරුම් පිළිවෙත් හඳුන්වා දීම සහ ගෝලීය වෙළඳපල තුළ නිෂ්පාදන තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ශ්‍රී ලාංකික අපනයනකරුවන් සවිබල ගැන්වීම සහ නිෂ්පාදනවලට වටිනාකම එක් කරන නව්‍ය, තිරසාර ඇසුරුම්කරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම හරහා අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීම EDB හි අරමුණ බවද සඳහන් කෙරිණි.
වැඩමුළුව සඳහා ඇසුරුම්කරණ උපදේශක ඩබ්ලිව්. අභය සෙනවිරත්න මහතා සහ CMC ඉංජිනේරු (පුද්ගලික) සමාගමේ කළමනාකරු සනත් වනිගසේකර මහතා සම්පත් දායකයන් ලෙස සහභාගී වූහ.
ඔවුන්ගේ සැසි මගින් ඇසුරුම්කරණයේ වැදගත්කම හා එහි කාර්යභාර, කුළුබඩු සඳහා යෝග්‍ය ඇසුරුම්කරණ ශිල්පීය ක්‍රම, ඇසුරුම් සඳහා සුදුසු ද්‍රව්‍ය තෝරා ගැනීම සහ ආහාර කර්මාන්තයේ භාවිතා වන ඇසුරුම් යන්ත්‍රෝපකරණ වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරන ලදී.
මෙම වැඩමුළුව මඟින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය රැකගැනීම, නාස්තිය අවම කිරීම සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා සුදුසු ඇසුරුම්කරණ ක්‍රම හා ද්‍රව්‍ය තෝරා ගැනීම පිළිබඳව සහභාගිවන්නන්ට වටිනා අවබෝධයක් ලබා දෙන ලදී.
ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය හරහා ශ්‍රී ලාංකික අපනයනකරුවන් සවිබල ගැන්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින අතර, එමඟින් නිෂ්පාදනවලට වටිනාකමක් එක් කරන නව්‍ය සහ තිරසාර ඇසුරුම්කරණ පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීමට බලාපොරොත්තු වේ.


