විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවන ප්‍රේෂණවල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ පළමු මාස දෙකේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 1,480.1ක ප්‍රේෂණ එවා ඇතැයි මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
එය පසුගිය වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවල මෙරටට එවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 1,121.1ක ප්‍රේෂණ අගයට සාපේක්ෂව 32%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
මේ වසරේ පෙබරවාරි මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 729ක ප්‍රේෂණ මෙරටට ලැබී තිබේ. එය පසුගිය 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක ප්‍රේෂණ අගයට සාපේක්ෂව 33%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මෑත මාසවලදී නිරීක්ෂණය වූ ධනාත්මක ප්‍රවණතාව 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවති බව සඳහන් වෙයි. වසරේ මුල් මාස දෙකේදී ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 32.0%ක වර්ධනයක් වාර්තා කර තිබේ.


