59 වන ජාතික අලුත් සහල් මංගල්‍යයට සමගාමීව පවත්වන පිරිත් සජ්ඣායනය ඊයේ (08) රාත්‍රීයේ සිට අද අලුයම දක්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස දී පැවැත්විණි.
අද උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යයේ ප්‍රධාන කටයුතු ආරම්භ වීමට නියමිතය.
ඊයේ උදෑසන සතර වාහල්කඩ කිරි ඉතිරවීමෙන් අනතුරුව උදෑසන සිට සවස් භාගය තෙක් අඛණ්ඩව හේවිසි පූජාව ද පැවැත්විණි. ඉන් අනතුරුව මල් පූජා කිරීම ඇතුළු ආගමික වතාවත් රැසක් ද සිදු කෙරිණි.
එමෙන්ම සවස ගිලන්පස බුද්ධ පූජාව පවත්වා මහා සංඝරත්නය විෂයෙහි ගිලන්පස පිළිගැන්වීමෙන් අනතුරුව සදාතුක කරඬුව පිරිත් මණ්ඩපය වෙත වැඩමවා පිරිත් සජ්ඣායනය ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්තන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එමෙන්ම අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා, ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


