ඉදිරියේදී මාතර මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඇතිවිය හැකි ඩෙංගු වසංගත අවදානම පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී මාතර මහ නගර සභා බල ප්‍රදේශය තුළ මදුරු කීටයන් වර්ධනය වීමට ඉඩ ඇති සියලු පොදු ස්ථාන කඩිනමින් පිරිසිදු කිරීම, පුද්ගලික ඉඩම් සහ ආයතනික පරිශ්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ ආරක්ෂක අංශවල මැදිහත් වීම යටතේ නිරීක්ෂණය කිරීම, ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීම සඳහා නියෝග නිකුත් කිරීම සහ එම නියෝග නොපිළිපදින පුද්ගලයන්ට සහ ආයතනවලට නඩු පැවරීම ඇතුළු පියවර ගැනීමට තීරණය කෙරිණි.
එමෙන්ම නියෝග නොපිළිපදින රාජ්‍ය ආයතනවලට ද කිසිදු භේදයකින් තොරව නඩු පවරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
අප්‍රේල් මස 1 වැනිදාට යෙදෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් සහ මහජනතාව එක්ව ඒ ඒ ප්‍රදේශවල ඇති පොදු ස්ථාන සහ ආගමික ස්ථානවල මදුරු කීටයන් බෝවීමට අවදානම් සහිත ස්ථාන පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය, මාතර මහ නගර සභාවේ නගරාධිපති නීතීඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය සහ ආරක්ෂක අංශ නියෝජිතයින් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.


