රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය සහ විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශ එක්ව සම්පාදනය කළ “2025 මාධ්‍ය සංකථන” ශාස්ත්‍රීය ග්‍රන්ථයේ 05වන වෙළුම මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක්, වෘත්තීය ජනමාධ්‍ය කලාවක් සහ ඉහළ මාධ්‍ය සාක්ෂරතාවයකින් යුත් සබුද්ධික ශ්‍රී ලාංකේය ජනමාධ්‍යයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. නූතන ජනමාධ්‍ය අභියෝග, මාධ්‍ය ප්‍රතිපත්ති, මාධ්‍ය අධ්‍යාපනය සහ වෘත්තීයභාවය පිළිබඳ පර්යේෂණාත්මක ලිපි රැසක් මෙහි අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරී ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා කටයුතු කර ඇති අතර, ප්‍රධාන සංස්කාරක ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු අංශාධිපති මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතා කටයුතු කර තිබේ. “මාධ්‍ය ප්‍රතිපත්ති, මාධ්‍ය අධ්‍යාපනය සහ මාධ්‍ය වෘත්තීයභාවය” යන තේමාව යටතේ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් සම්පාදිත ලිපි මෙම වෙළුමට ඇතුළත් කර ඇත. ජාලේශ්වර මාධ්‍ය සන්නිවේදනය, කෘත්‍රීම දත්ත, ජනමාධ්‍ය ආචාරධර්ම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී වාර්තාකරණය, ඩිජිටල් බලමුලු ගැන්වීම සහ නව මාධ්‍යයේ භූමිකාව ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් මෙහි ආවරණය කර තිබේ. මෙම ග්‍රන්ථයේ පස්වන වෙළුම මාර්තු සහ සැප්තැම්බර් කලාප දෙකක් ලෙස මුද්‍රණය කර ඇති අතර, එක් කලාපයක මිල රුපියල් 1200ක් වේ



