හෙට (10) ආරම්භ වන 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියල්ල සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවා.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි. පෙරවරු 9:30ට විභාගය ආරම්භ වන බවත්, නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් සඳහන් කළාය. පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන්ගෙන සිටිය යුතුයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරිය මෙසේ පැවසුවාය.
"දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට."
"ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා."
"පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට."
"විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා."


