ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරමින් වඩාත් නිවැරදි, වේගවත් සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් සංවර්ධනය කරන ලද “වැවිලි ක්ෂේත්‍ර තීරණ සහාය පද්ධතිය” (Plantation Sector Decision Support System – DSS) නිල වශයෙන් දියත් කිරීම හා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙත භාරදීමේ උත්සවය ඊයේ (25) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“එක් වේදිකාවක් • බහුවිධ ආයතන • වඩා හොඳ තීරණ” යන තේමාව යටතේ සංවර්ධනය කරන ලද මෙම නව ඩිජිටල් දත්ත පද්ධතිය, රජය සතු ඩිජිටල් පොදු වත්කමක් (Digital Public Asset) ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාරදීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය එක්ව, Integrated Digital Agriculture Transformation (IDAT) වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර තිබේ.
මෙම පද්ධතියේ සුවිශේෂීත්වය වන්නේ මීට පෙර විවිධ වැවිලි ආයතන මඟින් වෙන වෙනම පවත්වාගෙන ගිය දත්ත සහ වාර්තා පද්ධති වෙනුවට, සමස්ත වැවිලි ක්ෂේත්‍රයට අදාළ තොරතුරු එක් ඩිජිටල් වේදිකාවක් (Single Platform) ඔස්සේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ අමාත්‍යාංශයට ලබාදීමයි.
දිවයිනේ ප්‍රධාන වැවිලි භෝග වන තේ, රබර්, පොල් සහ කජු යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන හතක දත්ත ඒකාබද්ධ කරමින් මෙම පද්ධතිය සංවර්ධනය කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ කුඩා වතු සංවර්ධන අධිකාරිය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා කජු සංස්ථාව එක්ව දායක වී තිබේ.
මෙම පද්ධතිය මඟින් ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය කාලීනව නිරීක්ෂණය කිරීම, දත්ත ප්‍රස්ථාර සහ විශ්ලේෂණයන් හරහා පහසුවෙන් අධ්‍යයනය කිරීම, කාලගුණ විපර්යාසයන්ගේ බලපෑම තක්සේරු කිරීම, රජයේ සහනාධාර හා ආයෝජන වැඩසටහන්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසදායක තොරතුරු සැපයීම සිදු කෙරේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, “ඩිජිටල්කරණය මේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බවත්, අපේ රටේ තේ කර්මාන්තය ඇතුලු වැවිලි ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම තුළින් විශාල වාසි රැසක් ලබාගැනිමට හැකි බවත් ය. විශේෂයෙන්ම වගා කරුවන්ගේ තොරතුරු නිවැරදිව එකතු කරගන්නත්, ඒ වගේම වැවිලි බෝග නිෂ්පාදන අපනයන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරිමටත් මෙම ඩිජිටල් පද්ධතිය විශාල රුකුලක් වන බවත්ය.
මෙම දත්ත එකතු කිරිමට නිලධාරීන් මෙතෙක් කල් විශාල මහන්සියක් වී ඇති බවත්, නමුත් ඒ ක්‍රමය දැන් යාවත්කාලීන විය යුතු බවත් අවධාරණය කල අමාත්‍යවරයා, කඩදාසි ගොනු වෙනුවට පරිගණක පද්ධති සහ ජංගම දුරකථන යෙදවුම් හරහා ඉතාම ඉක්මනින් දත්ත ලබාගැනීමේ හැකියාව ඇතැයි ද. මෙවැනි දත්ත මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ගොඩනැගීම සඳහා මෙවැනි ඩිජිටල් පද්ධති අත්‍යවශ්‍ය වන අතර, වැවිලි ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය, කාර්යක්ෂම කළමනාකරණය සහ ගොවීන්ට වඩාත් ඵලදායී සේවාවක් සැලසීම සඳහා මෙම පද්ධතිය වැදගත් මෙවලමක් වන බවත් සඳහන් කළේය.
එමෙන්ම, මෙම Plantation Sector DSS පද්ධතිය ශ්‍රී ලංකාවේ වැවිලි ආර්ථිකය ශක්තිමත් කිරීම පමණක් නොව, රටේ ඩිජිටල් පොදු යටිතල පද්ධතිය සංවර්ධනයේද තීරණාත්මක ඉදිරි පියවරක් සනිටුහන් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරුන් සහ ලෝක බැංකුවේ ඩිජිටල් කෘෂිකර්ම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන සන්තෝෂ්කුමාර් වාසුදේවන් සහ සුනිල් මදන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම ඩිජිටල් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සහාය හා ආධාර සපයන ලද්දේ ගෝලීය ගේට්ස් පදනම විසිනි. මෙහි ප්‍රධාන පාර්ශ්වකරුවන් වනුයේ ‘Connect to Care Global’ ආයතනයේ චන්දිත සමරනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය හා සර්වෝදය ආයතන වේ. පොදු පාර්ශ්වකරුවන් ලෙස අවශ්‍ය තාක්ෂණික සහය ලබා දුන් MIT ESP ආයතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කටයුතු කරන ලදී.


