ජාතික ඩිජිටල් යටිතල පහසුකම් තුළින් ශ්‍රී ලංකාව කෘතිම බුද්ධි (AI) යුගයේ සක්‍රීය නිෂ්පාදකයෙකු බවට පත් කරනවා" - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

ජාතික ඩිජිටල් යටිතල පහසුකම් තුළින් ශ්‍රී ලංකාව කෘතිම බුද්ධි (AI) යුගයේ සක්‍රීය නිෂ්පාදකයෙකු බවට පත් කරනවා" - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
  • SocialShare:

කෘතිම බුද්ධි (AI) යුගය තුළ නැඟී එන කුඩා ආර්ථිකයන් හුදෙක් බුද්ධිමය මෙවලම් පරිභෝජනය කරන්නන් (Consumers) පමණක් නොවී, තෝරාගත් ක්ෂේත්‍ර ඔස්සේ එහි නිෂ්පාදකයන් (Producers) බවට පත්වීමේ වැදගත්කම ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා අවධාරණය කරයි.

2026 ජූනි 25 දින චීනයේ ශැංහයි හි පැවැති GSMA "Powering the AI Economy"  සාකච්ඡාව අමතමින් එතුමා ප්‍රකාශ කළේ, අන්‍යයන්ගේ තාක්ෂණයන් මතම පමණක් යැපීමෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 15%ක් දක්වා ඉහළ නැංවීමේ අභිලාෂකාමී ඉලක්කය සපුරාගත නොහැකි බැවින්, රටට වැදගත් වන උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි ස්වෛරීභාවය සුරකිමින් නිෂ්පාදකයෙකු වීමේ මාවත ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බවයි.

ආසියා-පැසිෆික් කලාපයේ කුඩා ආර්ථිකයන් මුහුණ දෙන සීමිත පරිගණක බලය (Compute), ඉහළ පිරිවැය, දත්ත ස්වෛරීභාවය පිළිබඳ ගැටලු සහ සයිබර් අවදානම් වැනි පොදු අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයක අවශ්‍යතාවය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් ස්වෛරී AI (Sovereign AI), සහනදායී සහ සැමට විවෘත AI, හරිත පරිගණකකරණය (Green Compute), දේශීය භාෂා ආකෘති (Local-language models), AI සාක්ෂරතාව, සයිබර් ඔරොත්තුදීමේ හැකියාව සහ පරිගණක-ජාල සහයෝගීතාව (Computing-network synergy) යන කරුණු හතක් ඔස්සේ ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා එතුමන් කලාපීය රටවලට ඇරයුම් කර සිටියේය.

මෙහිදී දැරිය හැකි සහ සැමට විවෘත AI ප්‍රවේශය පුරවැසි අයිතිවාසිකමක් මෙන්ම පොදු යටිතල පහසුකමක් ලෙස සැලකිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, රාජ්‍ය සේවකයන්, විශ්වවිද්‍යාල, පර්යේෂකයන් සහ නව ව්‍යවසායකයන්ගෙන් ආරම්භ කර පාසල්, කුඩා පරිමාණ ව්‍යාපාර හරහා සෑම පුරවැසියෙකු කරාම මෙම අවස්ථාවන් ව්‍යාප්ත කරන බවත්, රජය, කර්මාන්ත සහ ශාස්ත්‍රීය අංශ ඒකාබද්ධව AI සාක්ෂරතාව නංවාලීමෙන් කිසිදු පුරවැසියෙකු මඟ නොහරින බවත් එතුමා පැවසීය. එමෙන්ම, හුදෙකලා නොවී වඩාත් සංවේදී දත්ත සහ දේශීය භාෂාවන් සුරක්ෂිත කෙරෙන දේශීය ස්වෛරී හරයක් (Sovereign Core) නිර්මාණය කරමින් සෙසු කොටස් වාණිජ ක්ලවුඩ් (Commercial Cloud) සහ හවුල් පර්යේෂණාගාර සමඟ සම්බන්ධ කිරීමට ශ්‍රී ලංකාව පියවර ගන්නා බවද ඔහු පැහැදිලි කළේය.

ජාල සහ පරිගණක තාක්ෂණයේ සුසංයෝගය (Computing-Network Synergy) සඳහා ශ්‍රී ලංකාව සතු සුවිශේෂී භූගෝලීය පිහිටීම ඉමහත් පිටුවහලක් වන අතර, SEA-ME-WE පද්ධති සහ IAX වැනි නැඟෙනහිර-බටහිර ප්‍රධාන සබ්මැරීන් කේබල් කොරිඩෝව මධ්‍යයේ රට පිහිටා තිබීම විශාල වාසියකි. තත්පරයට ටෙරාබිට් 130ක ධාරිතාවයකින් යුත් අලුත්ම SEA-ME-WE 6 කේබල් පද්ධතිය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයෙන් ගොඩබසින අතර, දකුණු ආසියාවේ ප්‍රථම කේබල් ඩිපෝව (Cable Depot) පවත්වාගෙන යමින් කලාපීය සන්නිවේදන ජාලයන් නඩත්තු කිරීමටද ශ්‍රී ලංකාව දායක වෙයි. දැනටමත් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අපනයන ආදායම තේ අපනයන ආදායමද අභිබවා යමින් විදේශ විනිමය ඉපැයීම්වල 3 වැනි ස්ථානයට පත්ව තිබීම ඩිජිටල් ආර්ථිකයේ ශක්තිමත් පදනම කියාපාන්නකි.

ගෝලීය වශයෙන් සිංහල හෝ දෙමළ වැනි භාෂාවන් සහ අපගේ සංස්කෘතික පසුබිම AI ආකෘති තුළ ප්‍රමුඛතාවයකට පත් නොකරන බැවින්, මෙරට ගොවියෙකුට සිංහලෙන් සහ හෙදියකට දෙමළෙන් අදහස් හුවමාරු කරගත හැකි විවෘත පදනමක් සහිත දේශීය දත්ත සහ ස්වෛරී AI පද්ධතියක් (Sovereign-compute core) අප විසින්ම නිර්මාණය කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, කෘතිම බුද්ධි තාක්ෂණයේ වර්ධනයට පවතින ප්‍රධානතම බාධකය වන බලශක්ති අවශ්‍යතාවයට විසඳුම් ලෙස ශ්‍රී ලංකාව සතු සූර්ය, සුළං සහ ජල විදුලි සම්පත් උපයෝගී කරගනිමින් 2030 වන විට 70%ක පුනර්ජනනීය විදුලි ඉලක්කයක් සහ 2050 වන විට කාබන්-උදාසීන (Carbon-neutral) බලශක්ති ඉලක්කයක් සපුරා ගැනීමට කටයුතු කරන බැවින්, අඩු පිරිවැය සහිත හරිත AI (Green Compute) මධ්‍යස්ථානයක් වීමේ සුවිශේෂී හැකියාව ශ්‍රී ලංකාව සතුව පවතින බවත් එතුමන් පෙන්වා දුන්නේය.

AI තාක්ෂණය සමඟින් පැමිණෙන නව සයිබර් තර්ජන, ව්‍යාජ වීඩියෝ (Deepfakes) සහ වංචාවන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව නව සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක්, නව සයිබර් ආරක්ෂණ පනතක් සහ අධිකාරියක් (Cybersecurity Act and Authority) මෙන්ම තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට CERT ආයතනයද සක්‍රීය කරමින් AI යුගයේ ආරක්ෂක පද්ධතීන් ශක්තිමත් කරමින් සිටියි. මේ අනුව, ප්‍රධාන දත්ත මාර්ගයක පිහිටීම, හරිත බලශක්තිය සහ නොබැඳි විශ්වාසනීය පසුබිම යන කරුණු ත්‍රිත්වයම සපුරාලමින් කලාපීය දත්ත මධ්‍යස්ථාන කේන්ද්‍රස්ථානයක් (Regional Data-centre Hub) වීමට ශ්‍රී ලංකාව සියලු පදනම් සකසමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

අවසාන වශයෙන්, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයෙන් යුතු දක්ෂ තාරුණ්‍යය, දේශීය භාෂා සහ ස්වෛරී AI පරීක්ෂණාගාර මෙන්ම හරිත දත්ත මධ්‍යස්ථාන සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින විවෘත අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් පර්යේෂණ, හරිත පරිගණකකරණ ආයෝජන සහ ඒකාබද්ධ සයිබර් ඔරොත්තුදීමේ හැකියාවන් වර්ධනය කරගැනීමට එක්වන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රජාවට ආරාධනා කළේය.

තවද, මෙම සංවාදය ඉදිරියට ගෙනයාම සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත AI සමුළුවලට සහභාගී වන ලෙස ආරාධනා කළ ඉංජිනේරු එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකාව හුදෙක් පරිභෝජකයෙකු පමණක් නොවී විශ්වාසනීය සහකරුවෙකු ලෙස කලාපීය සහයෝගීතාවයේ සක්‍රීය පාර්ශවකරුවෙකු වන බව නැවත වරක් සහතික කළේය.