ලෝකයට වැදගත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කරන සැමදෙනාගේම මුවග සිනහවක් රන්දන ලස්සන ජීවිතයක් සහිත පොහොසත් රාජ්‍යයක් බවට මෙරට පත්කරන වැඩපිළිවෙළ “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ආරම්භ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඉදිරි වසර කිහිපය තුළදී මේ රට අලුත් දිශානතියකට ගෙනඒම සඳහා වූ ප්‍රධාන වැඩපිළිවෙළවල් 03ක් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇතැයිද, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය , රට ඩිජිටල්කරන ව්‍යාපෘතිය හා ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන එම වැඩපිළිවෙළවල් බවද අවධාරණය කළේය.
මෙය තනි අමාත්‍යංශයක් මගින් මෙහෙයවන්නක් නොවන අතර ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අමාත්‍යංශ ගණනාවක් ඒකාබද්ධව කටයුතු කරන සංයුක්ත වැඩපිළිවෙළක් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යනු රට පාරිසරිකව සමාජීයව, ආචාර්ය ධාර්මිකව ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා විද්‍යානුකූලව සකස් කරන ලද වැඩපිළිවෙළක් බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා ජනවාරි පළවෙනිදා ඒ පිළිබඳ ජාතියට ප්‍රකාශයට පත්කළ ආකාරයටම එය සතියකින්, දෙකකින් මාසයකින් අවසන් වන වැඩපිළිවෙළක් නොවන බවද හුදු සංදර්ශනකාරී වැඩපිළිවෙළක් නොවන බවද පැවසූ අමාත්‍යවරයා මේ රට සමාජීයව ආචාර්යධාර්මිකව සහ පාරිසරිකව අපගේ කෙලෙසී ඇති ප්‍රතිරූපය අපිළිවෙළ යන සියල්ල නිරාකරණය කරගෙන රට ඉහළ තැනකට ඔසවා තැබීමේ වැඩපිළිවෙළක් බවද පැවසුවේය.
මෙම ව්‍යාපෘතිය යටතේ මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය සමග ඒකාබද්ධව වැඩකරමින් සිටින බවද, රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් සිටින බවද සමස්තයක් ලෙස රටේම ජනතාව මේ සඳහා දායකත්වය ලබාදෙමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.