විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග ජනවාරි 02 වැනිදා පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මතු කළ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු පිලිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ අධ්‍යාපනයට බලපාන සියලූ පුරප්පාඩු පිලිබඳ සොයා බලා අවශ්‍ය පරිදි ඒවා සම්පූර්ණ කළ යුතු බවත්, පසුගිය වසර වල උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන නිසි පරිදි භාවිතයට ගෙන නැහැ ඒ නිසා වාර්ෂික ඇස්තමේන්තු සැකසීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් මෙහිදී අගමැතිවරිය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

"විදේශ ණය ආධාර යටතේ මේ රටට ලැබුණ මුදල් වලින් හරියට වැඩ කළා නම් අපේ විශ්වවිද්‍යාල කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් තත්ත්වයට ගේන්න තිබුණා. නමුත් නිවැරදිව අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ව්‍යාපෘති නිර්මාණය නොවීමෙන් මුදල් නාස්තියක් සිදුව තිබෙන්නේ. ඒ වගේම පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙනුත් නිසි ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කොමිෂන් සභාව ලබා දෙන අනුමැතිය අවභාවිතා කරමින් සමහර ආයතන කටයුතු කරනවා." යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල තුළ සිදුවන ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන් පිලිබඳව අවධානය යොමු කළ යුතු බවත්, විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමේදී සහ උපාධිය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදය නතර කිරීමට විශේෂයෙන් අවධානය යොමු වියයුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

සබරගමුව, පේරාදෙනිය, ඇතුළු විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම, ශිෂ්‍ය සුභ සාධනය, පුහුණු අවස්ථා නිසි පරිදි ලබා දීම මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු ගණනාවක්, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ගේ අවධානයට යොමු කළේ ය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.