කුරුඳු අපනයන ආදායම ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්

කුරුඳු අපනයන ආදායම ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්
  • SocialShare:

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දැනට ශ්‍රී ලංකාව කුරුඳු අපනයනය මගින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 260ක පමණ ආදායමක් උපයන අතර, එය ඉදිරියේදී ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉලක්කයක් බව මෙහිදි සාකච්ඡා විය.

කුරුඳු වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර දැනට අක්කරයකින් කිලෝග්‍රෑම් 250ක පමණ අස්වැන්නක් ලැබෙන අතර එය කිලෝග්‍රෑම් 400 දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින බව නිලධාරීන් පෙන්වා දුන්නේය.

කුරුඳු කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන අභියෝග ලෙස කැෂියා නිෂ්පාදනවල තරගකාරීත්වය, අඩු මිල වෙළඳපොළ මත යැපීම, අපනයන වෙළඳපොළේ ඒකාධිකාරී තත්ත්වයන්, සීමිත පර්යේෂණ හා සංවර්ධන කටයුතු සහ දුර්වල වෙළඳ නාමකරණය හඳුනාගෙන තිබේන බව මෙහිදි අනාවරණය විය.

මෙම ගැටලු විසඳීම සඳහා නව වෙළඳපොළ සොයා ගැනීම, වෙළඳපොළ විනිවිද යාම වැඩි කිරීම, අගය එකතු කළ ශ්‍රී ලාංකේය කුරුඳු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ දේශීය වගාකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව නිලධාරීන් පෙන්වා දුන්නේය.

දැනට ඉදිවෙමින් පවතින ජාතික කුරුඳු කර්මාන්තය ආශ්‍රිත සංස්කෘතික ප්‍රවර්ධන මධ්‍යස්ථානය පිළිබඳවත් අතුරු බෝගයක් ලෙස කුරුඳු වගා කිරීමේ හැකියාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්තාවේදි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුරුඳු කර්මාන්තයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් ඇතුළත් මාර්ග සිතියම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේය.