චර්යාත්මක වෙනස්කම් මගින් දරුවන් සඳහා මුල් ළමාවිය සංවර්ධනය තුළින් යහපත් සමාජයක් නිර්මාණය කිරිම අරමුණු කර ගනිමින් කෙටි විඩීයෝ පට 09ක් සකස් කර ජනගත කරන බව මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පී. නිලුෂිකා ධනසේකර මහත්මිය සඳහන් කරයි.
මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය මේ බව පැවසුවේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
මුල් ළමා විය විෂය ක්ෂේත්‍රයට අදාළව මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර සම්බන්ධීකරණයද සිදුකරන බව පැවසූ අධ්‍යක්ෂ පී. නිලුෂිකා ධනසේකර මහත්මිය හේමාස් ආයතනය විවිධාකාර වැඩසටහන් ඔස්සේ මුල් ළමා විය සංවර්ධනය සඳහා අවශ්‍ය දායකත්වය ලබාදෙමින් දීර්ඝ කාලයක් මෙම කර්තව්‍යයන් සමග එක්ව කටයුතු කරන බවද පැවසුවාය.
දරුවන්ගේ මුල් ළමා වියේදී සිදුවිය යුතු සංවර්ධනයන් සපුරාලීම සිදු නොවීම මත ඔවුන් වැඩිහිටියන් වූ පසු සහ සමාජයේ හැසිරීමේදී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවීම වර්තමානය වන විට සමාජයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන ගැටලුවක් බවද අවධාරණය කළාය.
මෙහිදී දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කළ අධ්‍යක්ෂවරිය මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට අවශ්‍ය වන වීඩියෝ පට නිර්මාණය කිරීමට ආයතනයක් ලෙස අදහස් කළ බවද පැවසුවාය.
මෙමගින් මුල් ළමාවිය සංවර්ධන විය යුත්තේ කෙසේද කියා වැඩිහිටියන් දැනුවත් කර ඊට අවශ්‍ය ධනාත්මක පෙළඹවීම සහ දායකත්වය ලබාගැනීමට හේමාස් ආයතනයත් සමග සම්බන්ධ වී වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගෙන් සම්පත් දායකත්වය ලබාගෙන මෙම වීඩියෝ පට නිර්මාණය කළ බවද වැඩිදුරටත් පැවසුවාය.


