එල් නිනෝ තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ විශේෂ සැලසුම් සාකච්ඡාවක්

එල් නිනෝ තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ විශේෂ සැලසුම් සාකච්ඡාවක්
  • SocialShare:

එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය හේතුවෙන් වැවිලි කර්මාන්තයට සහ වැවිලි ප්‍රජාවට ඇතිවිය හැකි බලපෑම් අවම කරමින් ජාතික නිෂ්පාදන ඉලක්ක ආරක්ෂා කර ගැනීම සඳහා කල්තියාම සැලසුම් සකස් කිරීමේ වැදගත්කම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් වැවිලි ක්ෂේත්‍රයට සහ වැවිලි ප්‍රජාවට එල්ල විය හැකි බලපෑම් සහ ඒ සඳහා ගත යුතු පූර්ව සූදානම් ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (10) දින පැවැති විශේෂ සාකච්ඡාවකදීය. එම සාකච්ඡාව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, දේශගුණික විපර්යාස හා කාලගුණ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය රන්ජිත් පුණ්‍යවර්ධන මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් හමුවේ වැවිලි ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සහ ජාතික ආර්ථිකයට වැදගත් වන වැවිලි නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලු පාර්ශ්ව එක්ව සැලසුම් සහගතව ක්‍රියා කළ යුතු බවයි. එමෙන්ම දිළිඳු හා අවදානමට ලක්විය හැකි ප්‍රජා කණ්ඩායම් වෙත එල්ල විය හැකි බලපෑම් අවම කිරීම සඳහා කඩිනම් සහ දීර්ඝකාලීන තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සාකච්ඡාවේදී ආචාර්ය රන්ජිත් පුණ්‍යවර්ධන මහතා එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවේ වැසි රටාවන්, උෂ්ණත්වය සහ ජල සම්පත් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය. එමෙන්ම පසුගිය වසරවල තේ සහ පොල් වගාවන් සඳහා හඳුන්වා දී ඇති දේශගුණික අවදානම් කළමනාකරණ නිර්දේශ සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇති බවත්, ඒවා නැවත ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් ඔහු අවධාරණය කළේය.

එහිදී පාංශු හා ජල සංරක්ෂණය, ක්ෂුද්‍ර වාරිමාර්ග (Micro Irrigation) තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම, විකල්ප සත්ත්ව පාලන කටයුතු සංවර්ධනය, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සහ ගොවීන් වෙත කාලගුණික තොරතුරු කඩිනමින් හා පුළුල්ව ලබාදීම වැනි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම භාවිත කරමින් දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන වැවිලි කර්මාන්තයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.

මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ලක්මිනි ප්‍රියන්තා මහත්මිය, තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය සහ රබර් පර්යේෂණ ආයතනයේ සභාපතිවරුන් ඇතුලු නිලධාරින්, අමාත්‍යාංශයට අනුබද්ධිත වැවිලි සමාගම්වල සභාපතිවරුන් ඇතුලු නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.