සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව් යන දූපත් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල අද පෙරවරුවේ (28) විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
දූපත්වල ජනතාවට සපයනු ලබන සෞඛ්‍ය සේවාවන්හි වත්මන් තත්ත්වය සෘජුව ඇගයීමට ලක් කිරීම, පවතින අභියෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා කඩිනම් හා දිගුකාලීන විසඳුම් සැලසුම් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.
මෙහි දී අමාත්‍යවරයා ඩෙල්ෆ් සහ අනලයිතිව් දූපත් රෝහල් පෞද්ගලිකවම නිරීක්ෂණය කරමින් එම රෝහල්වල වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසීන් සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගනු ලැබීය.එහි දී ඖෂධ සැපයුම, වෛද්‍ය උපකරණ, මානව සම්පත්, හදිසි රෝගී ප්‍රවාහන පහසුකම්, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා, බෝවන සහ බෝ නොවන රෝග පාලනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සහ කාර්යමණඩලය සමග ඉතා දීර්ඝ කරුණු සොයා බලන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අවධාරණයකර සිටියේ විශේෂයෙන්ම මුහුදු ප්‍රවාහනය මත රඳා පවතින උතුරු පළාතේ දූපත් වල වෙසෙන ජනතාවට හදිසි සෞඛ්‍ය සේවා ප්‍රවේශය තවදුරටත් කාර්යක්ෂම කිරීම, අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ මානව සම්පත් ශක්තිමත් කිරීම මෙන්ම ඉතා දූරස්ථ ප්‍රදේශවල ජනතාවටත් ප්‍රධාන භූමියේ ජනතාවට හිමිවන සේම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම රජයේ අරමුණ බවයි.
සෞඛ්‍ය සේවාව යනු භූගෝලීය සීමාවන්ට යටත් නොවන මූලික අයිතිවාසිකමක් බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, දූපත් ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් යටිතල පහසුකම්, මානව සම්පත් සහ වෛද්‍ය සේවා තවදුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද මෙහිදී අවධාරණයෙන් පැවසීය.
දූපත් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට භූගෝලීය සීමාවන් හේතුවෙන් සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශ වීමේදී ඇතිවන බාධා අවම කරමින්, රටේ ඕනෑම ප්‍රදේශයක පුරවැසියෙකුට ලැබිය යුතු සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය එලෙසම තහවුරු කිරීම රජයේ වගකීමක් බවද මෙහි දී තවදරටත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, දූපත් රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම, මානව සම්පත් ශක්තිමත් කිරීම සහ ජනතාවට අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා කඩිනම් හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙම නිරීක්ෂණ සංචාරය අතරතුර අමාත්‍යවරයා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡා පවත්වා ඔවුන් මුහුණදෙන වෘත්තීය ගැටළු සහ සේවා සැපයීමේදී උද්ගතවන ප්‍රායෝගික අභියෝග පිළිබඳව දඅදහස් විමසන ලැබූ අතර ප්‍රදේශවාසීන් හමුවී ඔවුන්ගේ අදහස් හා යෝජනා ද ලබා ගනු ලැබීය.
මෙම සංචාරය, උතුරු දූපත් ප්‍රදේශවල සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම, ප්‍රවේශයක් ලබාගත හැකි සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.
ඩෙල්ෆ් දූපතේ පන්දහසකට ආසන්න ජනතාවක් ජීවත්වන අතර අනලයිතිව් දූපතේ ඒක්දහස් පන්සියයකට ආසන්න ජනතාවක් ජීවත් වෙති. ඒමෙන්ම වෘත්තීය කටයුතු, සංචාරක හා වෙනත් සේවා කටයුතු සදහා ද දිනපතා මෙම දුපත් වෙත විශාල පිරිසක් පැමිනෙති. මෙම ජනතාව ධීවර හා පශු සම්පත් පාලනය හා කුඩා පරිමාණ කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවිකාව ලෙස සිදුකරනු ලබයි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් එන්. ප්‍රභාකරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ, ස්ථාන භාර වෛද්‍ය නිලධාරීන්වන සමාලි පෙරේරා, එන්. තදීෂයන් යන මහත්ම මහත්මීන් මෙන්ම වෙද්‍ය නිලධාරීන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියහ.


