ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම හරහායි - අගමැතිනිය

ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම හරහායි - අගමැතිනිය
  • SocialShare:

ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම තුළින් බවත් දැනුමෙන්, කුසලතාවයෙන් සහ හැකියාවෙන් පිරිපුන් සමාජයක් ගොඩනැඟීම සඳහා උසස් අධ්‍යාපනය දියුණු  කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.

ජුනි 27 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ (Institution of Incorporated Engineers, Sri Lanka - IIESL) 48 වැනි වාර්ෂික සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

ලොව පුරා විහිදෙන ඉංජිනේරු වෘත්තිකයන් වන Chartered Engineers, Incorporated Engineers සහ Engineering Technicians යන   වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තීය ප්‍රගතිය ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනය ස්ථාපිත කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ නව සාමාජිකයින් වෙත සාමාජිකත්ව සහතික ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු කෙරිණි.

අනතුරුව සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය, ඉංජිනේරු වෘත්තිකයන් ජාතික සංවර්ධනය සඳහා ඉටු කරන මෙහෙවර අගය කළ යුතු බවත්, ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනය ක්‍රියාත්මක කරන වැඩසටහන් සහ මුලපිරීම් එහි සාමාජිකයින්ගේ වෘත්තීය දියුණුවට ශක්තියක් වෙමින්, රටේ ඉදිරි ගමනට අර්ථවත් දායකත්වයක් ලබා දෙන බවත් සඳහන් කළා ය.

තවද, කුසලතා මෙන්ම වෘත්තීය හැකියාවන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සමඟ සැසදෙන  නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය ආර්ථික පරිසරයක් තුළ ඇතැම් සුදුසුකම් සඳහා පවතින සීමිත පිළිගැනීම හේතුවෙන් බොහෝ දක්ෂ වෘත්තිකයන්ගේ රැකියා සහ වෘත්තීය ප්‍රගති අවස්ථා සීමා වී ඇති බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළ අතර එම අභියෝගවලට විසඳුම් ලබාදීම පුද්ගලික වෘත්තීය දියුණුවට පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ ඉංජිනේරු ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර තරගකාරිත්වය වැඩි කිරීම සඳහා ද අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් සඳහන් කළාය.

එම ඉලක්කයන් සපුරා ගැනීමේදී අධ්‍යාපනය සඳහා රජයේ කැපවීම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ජාතික ප්‍රමුඛතාවක් බවත්, සිසුන්ට දැනුම පුළුල් කර ගැනීමටත්, කුසලතා වර්ධනය කර ගැනීමටත්, රටේ අනාගත සංවර්ධනයට ඵලදායී ලෙස දායක වීමටත් අවස්ථාව සලසන අධ්‍යාපනික පද්ධතියක් ගොඩනැඟීමට රජය කැපවී සිටින බවත් ප්‍රකාශ කළාය.

ඒ සඳහා රජය සහ අධ්‍යාපනික ආයතන, වෘත්තීය ආයතන, කර්මාන්ත ක්ෂේත්‍රය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර සංවාද සහ සහයෝගීතාවයන් ශක්තිමත් කරගත යුතු බවත්, ජාතික ප්‍රගතිය කරා යන ගමන සාමූහික උත්සාහයකින් සහ පොදු කැපවීමක් හරහා කළ හැක්කක් වන බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ සභාපති ඉංජිනේරු එම්. පී. ආනන්ද ගුණවර්ධන මහතා, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. එම්. ජී. ප්‍රසන්න ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති ඉංජිනේරු ආචාර්ය තිලක් ද සිල්වා මහතා, ආයතනයේ සභිකයින්, හිටපු සභාපතිවරුන්, නව සාමාජිකයින් සහ විශේෂ ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.