ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ මඩු සහ තලවිල වාර්ෂික මංගල්‍යයන් වෙනුවෙන් පහසුකම් ඉහළ නැංවීමට පියවර

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ මඩු සහ තලවිල වාර්ෂික මංගල්‍යයන් වෙනුවෙන් පහසුකම් ඉහළ නැංවීමට පියවර
  • SocialShare:

2026 වාර්ෂික මංගල්‍යයන් නිමිත්තෙන් මඩු සහ තලවිල දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් බැතිමතුන්ට වඩාත් සුරක්ෂිත හා පහසු පරිසරයක් සලසා දීම සඳහා පහසුකම් ඉහළ නැංවීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධන බලකා රැස්වීමේදී සිදු කෙරිණි.

ඒ අනුව, ජූලි 26 සිට අගෝස්තු 6 දක්වා තලවිල ශුද්ධ වූ ආනා මුණිවරියගේ දේවස්ථානයේත්, අගෝස්තු 6 සිට 16 දක්වා ශුද්ධ වූ මඩු මාතා දේවස්ථානයේත් පැවැත්වීමට නියමිත වාර්ෂික දේව මංගල්‍යයන් වෙනුවෙන් පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා පසුගියදා එම දේවස්ථාන පරිශ්‍රවලදී ද පැවැත්විණි.

උත්සව සමයේ දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ වන අතර, ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, ජලභීතිකා රෝගය පාලනය කිරීම ඇතුළු කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

මීට අමතරව ඒකාබද්ධ ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීම, ජනතාව දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය, මාර්ග බාධක අසල නියාමන කුටි පිහිටුවීම, කසල කළමනාකරණය, ආහාර හා පානවල ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම සහ මහජන සබඳතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

මෙම සාකච්ඡාවට මඩු දේවස්ථානයේ පාලක පියතුමා, තලවිල ශුද්ධ වූ ආනා දේවස්ථානයේ පාලක ලහිරු ක්‍රිෂාන් පියතුමා, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් වන කපිල සෙනරත් මහතා සහ එච්. පී. එස්. ශාන්ත මහතා ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන නිලධාරීහු ද එක්ව සිටියහ.