131 වැනි දහම් පාසල් දින ජාතික සැමරුම් උත්සවය එළඹෙන අගෝස්තු 3 වැනිදාට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ප්‍රධාන ජාතික උත්සවය අගෝස්තු 2 වැනිදා කැබිතිගොල්ලෑවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සහ මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ පැවසූහ.
දහම් පාසල් දින ජාතික සැමරුම සහ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
"බුද්ධ පිළිවෙත් සුරකින දැහැමි සමාජයක්" යන්න මෙවර දහම් පාසල් දින ජාතික සැමරුම් උත්සවයේ තේමාව ලෙස තෝරාගෙන ඇත.
කැබිතිගොල්ලෑවේ පැවැත්වෙන ප්‍රධාන ජාතික උත්සවයට සමගාමීව දිවයින පුරා දහම් පාසල් මට්ටමින් ආගමික, අධ්‍යාපනික සහ සමාජීය වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.
පසුගිය වසරේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික වැඩසටහන මෙවර ජූලි 24 සහ 25 දෙදින දෙබරවැව ජාතික පාසලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද උන්වහන්සේ පැවසූහ.
මෙරට දහම් පාසල්වල ලක්ෂ 15කට ආසන්න සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා එළිදැක්වීමට මෙම ජාතික තරගාවලිය මහඟු අවස්ථාවක් වන බව ද පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
මෙම අවස්ථාවට එක් වූ අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කුංචුට්ටුවේ ධම්මකුසල නායක ස්වාමින් වහන්සේ සඳහන් කළේ, දරුවන් නවීන තාක්ෂණය සමඟ හුරු කිරීමේ අරමුණින් බෞද්ධ කතා වස්තුවක් ඇසුරින් කෘත්‍රිම බුද්ධිය (AI) යොදා වීඩියෝ නිර්මාණය කිරීමේ තරගයක් ද මෙවර සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික වැඩසටහනට ඇතුළත් කර ඇති බවයි.


