සමස්ත ලංකා ඉස්ලාම් අහදියියා දහම් පාසල් මධ්‍යම සම්මේලනයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජාතික මහෝත්සවය එළඹෙන ජූලි 25 වැනි සෙනසුරාදා පෙරවරු 8.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වෙන බව සමස්ත ලංකා අහදියියා දහම් පාසල් මධ්‍යම සම්මේලනයේ සභාපති අල්හාජ් එම්. ආර්. එම්. සරූක් මහතා පැවසීය.
මේ බව ඔහු ප්‍රකාශ කළේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
75 වැනි සංවත්සරයට සමගාමීව විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර, දිවයින පුරා අහදියියා දහම් පාසල්වල වසර 25කට වැඩි කාලයක් කිසිදු දීමනාවක් නොලබා ස්වේච්ඡාවෙන් සේවය කළ ගුරුභවතුන් ඇගයීම සඳහා විශේෂ සම්මාන ප්‍රදානෝත්සවයක් ද පැවැත්වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, දහම් පාසල් පද්ධතිය තුළ විශිෂ්ට ලෙස විභාග සමත් වූ සිසුන් ඇගයීමට ලක් කර සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙම ජාතික මහෝත්සවයට සමගාමීව සිදු කෙරේ.
දරුවන්ට යහමඟ පෙන්වා යහපත් සාරධර්මවලින් පිරිපුන් පුරවැසියන් බිහිකිරීම සෑම ආගමකටම අයත් දහම් පාසල්වල ප්‍රධාන අරමුණ බව පෙන්වා දුන් අල්හාජ් එම්. ආර්. එම්. සරූක් මහතා, දහම් පාසල් පද්ධතිය ශක්තිමත් වන්නේ දරුවන් වැඩි වශයෙන් එම පාසල් වෙත යොමු කිරීමෙන් බව අවධාරණය කළේය.
දෙමාපියන්, වැඩිහිටියන් සහ පාසල් ගුරුවරුන් දරුවන් දහම් පාසල් වෙත යොමු කිරීම සඳහා මූලිකත්වය ගත යුතු බව පැවසූ ඔහු, දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කළ හැකි නම් සමාජයේ අපරාධ අවම කර යහපත් සමාජයක් ගොඩනැඟීමට හැකි වන බවත්, එවිට බන්ධනාගාරවලට යන පිරිස ද සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


