ආර්ථික නැවත ස්ථාවර කිරීමටත් දේශගුණික අභියෝග ජය ගැනීමටත් ලෝකයේ රටවල් එක්ව කටයුතු කළ යුතුයි - අමාත්‍ය බිමල් රත්නායක

ආර්ථික නැවත ස්ථාවර කිරීමටත් දේශගුණික අභියෝග ජය ගැනීමටත් ලෝකයේ රටවල් එක්ව කටයුතු කළ යුතුයි - අමාත්‍ය බිමල් රත්නායක
  • SocialShare:

ආර්ථික නැවත ස්ථාවර කිරීමත් දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීම වෙනුවෙනුත් ලෝකයේ රටවල් එක්ව කටයුතු කළ යුතු බව චීනයේ පැවති 5 වැනි ටිබෙට් (Xizang) ට්‍රාන්ස්හිමාලයා ජාත්‍යන්තර සහයෝගීතා සංසදයේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා 2026 ජූලි 16 සිට 18 දක්වා චීනයේ ලින්ෂි (Linzhi) නගරයේ පැවති 5 වැනි ටිබෙට් (Xizang) ට්‍රාන්ස්-හිමාලයා ජාත්‍යන්තර සහයෝගීතා සංසදයට සහභාගී විය.

මෙම ජාත්‍යන්තර සංසදයට මියන්මාරයේ උප ජනාධිපතිවරයා, නේපාල නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායකවරයා, පාකිස්තානයේ දේශගුණික විපර්යාස අමාත්‍යවරයා ඇතුළු රටවල් රැසක ඉහළ පෙළේ නියෝජිතයන් සහභාගී වූ අතර, අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එහි ප්‍රධාන දේශකයෙකු ලෙස අදහස් දැක්වීය.

“මිනිසා සහ ස්වභාවධර්මය අතර සහජීවනය  – සංවර්ධනයේ ප්‍රතිලාභ හවුලේ බෙදා ගැනීම” යන තේමාව යටතේ පැවති මෙම සංසදයේදී, පරිසරය ආරක්ෂා කරමින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය දේශනයේදී සඳහන් කළේ, ට්‍රාන්ස්-හිමාලයා කලාපයේ රටවල් වෙන් කරන බාධක ලෙස නොව, ඒවා එකිනෙකා සමීප කරන පාලම් ලෙස කඳු පද්ධති දැකිය යුතු බවයි. එමගින් කලාපයේ රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කර ගනිමින් පොදු සංවර්ධන ඉලක්ක වෙත ළඟා විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව චීනය සමඟ පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවත්, එක් චීන ප්‍රතිපත්තිය සහ බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය මෙහිදී අමාත්‍යවරයා යළි තහවුරු කළේය.

ප්‍රවාහනය, සැපයුම් කළමනාකරණය, ඩිජිටල් ආර්ථිකය, තිරසාර සංචාරක ව්‍යාපාරය සහ හරිත බලශක්තිය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, ආර්ථික නගාසිටුවීමේ සිට දේශගුණික විපර්යාස දක්වා අද ලෝකය මුහුණ දෙන අභියෝග කිසිදු රටකට තනිව ජය ගත නොහැකි බවත්, ඒ සඳහා සියලු රටවල් එකට එක්ව, එකිනෙකාට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් සහ අනාගතය දෙස බලා කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

සංසදයට සමගාමීව අමාත්‍ය බිමල් රත්නායක මහතා ටිබෙට් (Xizang) ස්වාධීන කලාපීය පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික ෂූ ෂිවෙන් (Xu Zhiwen) මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී ශ්‍රී ලංකාව සහ ටිබෙට් (Xizang) පළාත අතර සංස්කෘතිය, පරිසර සංරක්ෂණය, තිරසාර සංචාරක ව්‍යාපාරය සහ දේශගුණික විපර්යාස සම්බන්ධ අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය.

මෙම සංචාරයට අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා–චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මල්කාන්ති ජයරත්න මහත්මිය ද එක්ව සිටියහ.