ජනතාවට ගුණාත්මක, සමානාත්මතාවයෙන් යුත් සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු සහාය රජය ලබාදෙන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සදහන් කළේය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ එක්ව තෙලිප්පලෙයි මූලික රෝහලේ නිල නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී ධීවර ඇමතිවරයා මේ බව පැවසුවේය.
මෙම අවස්ථාවේදී, වර්තමානයේ උතුරු පළාත් සභාවේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන තෙලිප්පලෙයි මූලික රෝහල මධ්‍යම රජයේ පරිපාලනය යටතට පත් කිරීමේ හැකියාව පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි. රෝහලේ සේවා තත්ත්වය ඉහළ නැංවීම, පරිපාලන හා සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ කරුණු මෙහිදී අවධානයට ලක් විය.
එමෙන්ම, රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය, විශේෂඥ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාව, වෛද්‍ය උපකරණවල හිඟය, සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ රෝගී සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අමාත්‍යවරු රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය සේවකයන් සහ පරිපාලන නිලධාරීන් සමඟ සෘජුව සාකච්ඡා කරමින් ඔවුන් මුහුණ දෙන අභියෝග, අවශ්‍යතා සහ සේවා සංවර්ධනය සඳහා වූ යෝජනා පිළිබඳ අදහස් විමසා බැලූහ. ඉන් අනතුරුව රෝහලේ විවිධ වාට්ටු නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා බැලූ අතර, ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වන ආකාරයද නිරීක්ෂණය කළහ.
මෙම නිරීක්ෂණ චාරිකාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය එස්. ශ්‍රීභවානන්දරාජා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් ශාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, තෙලිප්පලෙයි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඒ. දේවනායගම්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, රෝහල් සේවකයන් සහ රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, තෙලිප්පලෙයි මූලික රෝහලේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කළ බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"දැනට ඉදිකරමින් පවතින තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ ලබන වසර තුළ අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම රෝහලේ සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් අප වෙත ලැබී තිබෙනවා. විශේෂයෙන්ම පිළිකා ප්‍රතිකාර ඒකකයක් පිහිටුවීම පිළිබඳ ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබෙනවා.
වර්තමාන පරිපාලන ව්‍යුහය වහාම වෙනස් නොකර පවත්වාගෙන යාමයි අපගේ ස්ථාවරය. එමෙන්ම, ඔබ ඉදිරිපත් කළ යෝජනා අනුව පිළිකා ප්‍රතිකාර ඒකකය විශේෂ ඒකකයක් ලෙස මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීම සහ අනාගතයේදී සමස්ත රෝහලම මධ්‍යම රජයේ පරිපාලනය යටතට පත් කිරීමේ හැකියාව පිළිබඳවද සලකා බලනවා.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් රෝහල මධ්‍යම රජය යටතට පත් කිරීමේ යෝජනාවක් සම්මත කර තිබුණද, රෝහලේ පරිපාලනය, වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන පමණක් අවසන් තීරණය ගන්නවා. ඒ සඳහා අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත්කර අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සුදුසු පියවරක් වනු ඇත." යනුවෙනි.
අනතුරුව අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ, තෙලිප්පලෙයි මූලික රෝහල උතුරු ජනතාවගේ සෞඛ්‍ය සේවාවේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"තෙලිප්පලෙයි මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් සම්පත් හිඟය මධ්‍යයේ වුවද ඉතා කැපවීමෙන් සේවය කරනවා. ඔවුන් පෙන්වා දී ඇති අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබඳව රජය සම්පූර්ණ අවධානය යොමු කර තිබෙනවා. ඒවාට අදියරෙන් අදියර විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.
මෙම රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කර තිබෙනවා.
සමහරු මෙම රෝහල මුල්කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරනවා. සෞඛ්‍ය සේවාව දේශපාලන වේදිකාවක් නොව, ජන ජීවිත රැකගන්නා අත්‍යවශ්‍ය සේවාවක්. ඒ නිසා දේශපාලන වෙනස්කම් පසෙකලා රෝහලේ සංවර්ධනය සහ ජනතා සුබසාධනය වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට රජය අඛණ්ඩව කැපවී සිටිනවා." යනුවෙන් පැවසීය.


