කටුබැද්ද දැව තාක්ෂණ ආයතනයේ ප්‍රථම කණ්ඩායමට පත්වීම් ප්‍රදානය කෙරේ

කටුබැද්ද දැව තාක්ෂණ ආයතනයේ ප්‍රථම කණ්ඩායමට පත්වීම් ප්‍රදානය කෙරේ
  • SocialShare:

කෘතිම බුද්ධිය (AI) වේගයෙන් දියුණු වුවද මිනිස් කුසලතාව සහ නිර්මාණශීලීත්වයට ඇති වටිනාකම කිසිවිටෙකත් අඩු නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.

වසර 14ක් පුරා අක්‍රියව පැවති කටුබැද්ද දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි සක්‍රීය කරමින් ආරම්භ කළ දැව තාක්ෂණ (ගෘහ භාණ්ඩ) NVQ Level 4 පාඨමාලාවේ ප්‍රථම කණ්ඩායම සාර්ථකව නිම කළ සිසුන් 21 දෙනාට සහතිකපත් සමඟ රැකියා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ (18) එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කුසලතා මත පදනම් වූ ශ්‍රම බලකායක් ගොඩනැඟීම සඳහා රජය, ජාතික ශිල්ප සභාව සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කරන බවත්, ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 9 වැනි ශ්‍රේණියේ සිටම සිසුන්ට තම දක්ෂතා හා කැමැත්ත අනුව කුසලතාමය වෘත්තීය මාර්ග තෝරාගැනීමේ අවස්ථාව සලසා දීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය. "අපි පරාජය කළේ රජය වෙළඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු යැයි කියන ආර්ථික මතිමතාන්තරයයි. අද ජාතික ශිල්ප සභාව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ ඒ වෙනසට හොඳම උදාහරණයක්," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. වෘත්තීය පුහුණු වැඩසටහන් අතීතයේදී අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුව ඒවා වෙළඳපොළේ සැබෑ අවශ්‍යතා සමඟ සම්බන්ධ නොවීම බවත්, වර්තමාන රජය පුහුණුව, කර්මාන්ත සහ රැකියා වෙළඳපොළ අතර සෘජු සම්බන්ධතාවක් ගොඩනැඟීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.