ජනාධිපති සහ අගමැති බාලදක්ෂිකා සම්මාන ප්‍රදානය අරලියගහ මන්දිරයේදී

ජනාධිපති සහ අගමැති බාලදක්ෂිකා සම්මාන ප්‍රදානය අරලියගහ මන්දිරයේදී
  • SocialShare:

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී  පැවති, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කළ "ජනාධිපති සහ අගමැති බාලදක්ෂිකා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිණි.

එහිදී අග්‍රාමාත්‍යවරියගේ සුරතින් ජනාධිපති බාලදක්ෂිකා සම්මාන 338ක් සහ අගමැති බාලදක්ෂිකා සම්මාන 12ක් ඇතුළුව සමස්ත සම්මාන 350ක් පිරිනැමුණු අතර, දැරියන්ගේ විනය, ඔරොත්තු දීමේ හැකියාව, අඛණ්ඩතාව සහ සමාජ සේවයට දැක්වූ කැපවීම ඇගයීමට ලක් කෙරිණි.

අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ ප්‍රධාන ශක්තිය වන්නේ පසුබිම හෝ හැකියාව කුමක් වුවද සෑම දරුවෙකුටම සමාන අවස්ථා ලබාදීම බවයි. තරුණියන්ට සියලු ක්ෂේත්‍රවල ඉදිරියට පැමිණීමට සමාන අවස්ථා හිමිවිය යුතු අතර, වඩා යහපත් රටක් ගොඩනැගීම සඳහා තරුණ නායිකාවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.

වත්මන් ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මධ්‍යයේ තිරසාර ජාතික ප්‍රගතියක් සඳහා ආර්ථික වර්ධනයට අමතරව සදාචාරාත්මක හා සමාජීය වගකීම් සහිත පුරවැසියන් බිහිකිරීම අත්‍යවශ්‍ය බවත්, එහිදී ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ඉටුකරන මෙහෙවර අගය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ස්වර්ණිකා පිටිගල මහත්මිය, ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුෂන්තා හේරත් මහත්මිය, ජනාධිපති බාලදක්ෂිකා කොමසාරිස් පුෂ්පා පෙරේරා මහත්මිය, අගමැති බාලදක්ෂිකා කොමසාරිස් අරුණි කරුණාරත්න මහත්මිය ඇතුළු සංගමයේ නිලධාරීන්, සම්මානලාභී බාලදක්ෂිකාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියහ.