ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ ගුණානුස්මරණ මහෝත්සවය නොවැම්බර් 21 දා

ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ ගුණානුස්මරණ මහෝත්සවය නොවැම්බර් 21 දා
  • SocialShare:

ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘ සහ අසමසම කලාකරුවෙකු වූ අභාවප්‍රාප්ත ආනන්ද සමරකෝන් මහතාගේ ගුණානුස්මරණ මහෝත්සවය සංවිධානය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ගුණානුස්මරණ මහෝත්සවය ලබන නොවැම්බර් 21 වැනිදා පෙරවරු 10.00ට බත්තරමුල්ල "අපේ ගම" පරිශ්‍රයේ පිහිටි ආනන්ද සමරකෝන් මහතාගේ පිළිරුව අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික කලාකරුවෙකු වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම උපහාර වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය සහ දායකත්වය ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම, ගුණානුස්මරණ මහෝත්සවයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට ද අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.

මෙම සාකච්ඡාවට ආනන්ද සමරකෝන් පදනම නියෝජනය කරමින් සභාපති සුනිල් සමරකෝන් මහතා, ලේකම් සරත් ජයවීර මහතා, භාණ්ඩාගාරික ඉලංගා කරුණාරත්න මහත්මිය, ජාතික සංවිධායක ජයන්ත කරුණාරත්න මහතා, කාරක සභික අජන්ත මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ.