පළාත් 09හිම ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන, පළාත් සෞඛ්‍ය, පළාත් අධ්‍යාපන විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, පළාත් පාලන කොමසාරිස්වරුන්, සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන්, පළාත් පාලන ආයතන 341හිම නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, උප සභාපතිවරුන්, නාගරික කොමසාරිස්වරුන්, ලේකම්වරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අදාල සියලුම අංශ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරුන්ගේ හා පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මේ වන විට දැඩි අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ජාතික ඩෙංගු මර්දන ඒකකයත්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා පොලීසියත් සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන ජාතික ඩෙංගු මර්දන සතිය හෙටින් (15) ආරම්භ වේ.
මෙහිදී අදහස් දක්වමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසුවේ මෙම තත්ත්වය අප ජීවත්වන අවට පරිසරහා සම්බන්ධව නිර්මාණය වන බැවින් මහජනතාවගේ ද දායකත්වයක් නොමැතිව සෞඛ්‍ය අංශවලට පමණක් හෝ රජයේ ආයතනවලට පමණක් මැඩපැවැත්විය හැකි තත්ත්වයක් නොවන බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය ජගත් අමරසේකර මහතා ප්‍රකාශකර සිටියේ සාමාන්‍යයෙන් මෙරට සතියක් තුළ වාර්තාවන ඩෙංගු රෝගීන් ප්‍රමාණය 1,000කට ආසන්න අගයක් වුවද මේ වන විට එම ප්‍රමාණය ඉක්මවා ගොස් ගුණිතයක ආකරයෙන් සතියකට වාර්තාවන රෝගීන් ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවය. එම තත්ත්වය හේතුවෙන් දෛනිකව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති අතර එමගින් සෞඛ්‍ය අංශවල ධාරිතාව ඉක්මවා යමින් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බව ඒ මහතා සඳහන් කළේය.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය මෙහිදී පවසා සිටියේ මේ වනතෙක් මදුරු කීටයන් සිටින පරිශ්‍ර පිලිබඳ කළ සෝදිසි කිරීම්වලදී වැඩිම ප්‍රතිශතයක් සහිත පරිශ්‍ර වර්ගය වනුයේ 41.8%ක අගයක් ගන්නා පාසල් ප්‍රමුඛ අධ්‍යාපන ආයතන බවයි. මේ වන විට කීට ඝණත්ව හා මදුරුවන් බෝවන ස්ථාන සහිත පර්ශ්‍ර දර්ශක අගයන් ද වැඩිවෙමින් පවතින අතර මේ වන විට කීටයන් සහිත ස්ථාන 28,913ක ප්‍රමාණයක් හමුවී ඇති බවත් ඉන් 26%ක්ම ඉවතලන ද්‍රව්‍ය හා 14%ක ප්‍රමාණයක් තාවකාලිකව ඉවත්කළ අයිතම සහිත වඩා වැඩියෙන් මදුරුවන් බෝවන සථාන බවත් ඇය වැඩි දුරටත් පැවසීය.
මේ සඳහා එක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසූයේ ඩෙංගු රෝගය නිසා වසරේ මේ වන විට මියගොස් සිටින පුද්ගලයින් අතර කුඩා දරුවන්, තරුණයින් හා කාන්තාවන් ද සිටින බැවින් රටේ අනාගත පරපුරත්, ශ්‍රම දායකත්වය ලබාදෙන තරුණයිනුත්, කාන්තාවන් ලෙස දරුවන්ට මව්වරුන් අහිමිවීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බවයි.
ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා මෙහිදී සඳහන් කර සිටියේ වැඩි මදුරුවන් ප්‍රමාණයක් බෝවීමේ සම්භාවිතාවක් සහිත පරිශ්‍ර වර්ගයක් වන ඉදිකිරීම් පරිශ්‍ර තුළ මදුරුවන් බෝවන තැන් හමුවී ඇත්නම් ඒ පිළිබඳව පරිසර පොලිසියට පැමිණිලි කළ හැකි බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98වන වගන්තිය යටතේ එම පරිශ්‍රය සම්බන්ධව මහේස්ත්‍රාත්වරයෙකුගෙන් තහනම් නියෝගයක් ගත හැකි බවත් ය.
හෙටින් ඇරඹෙන මෙම ජාතික ඩෙංගු මර්දන සතිය ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර එහිදී පහත පරිදි දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මක වේ.
* ජුනි 15, 16 සහ 17 (එළඹෙන සඳුදා, අඟහරුවාදා, බදාදා): නගර ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු සියලුම පොදු ස්ථාන පිරිසිදු කිරීම.
* ජුනි 18 (බ්‍රහස්පතින්දා): පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම.
* ජුනි 19 (සිකුරාදා): සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම.
* ජුනි 20 (සෙනසුරාදා): පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම.


