පේරාදෙණිය රෝහලේ නව්‍යකරණය කළ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය ජනතා අයිතියට

පේරාදෙණිය  රෝහලේ නව්‍යකරණය කළ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය ජනතා අයිතියට
  • SocialShare:

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අවම පහසුකම් යටතේ මෙතෙක්  පවත්වාගෙන ගිය හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය නවීන පහසුකම් සහිතව පුළුල් පරිශ්‍රයක පිහිටුවා නව්‍යකරණය කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමත්, එමෙන්ම නවීන පහසුකම් සහිතව නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලද ප්රධාන වෛද්ය රසායනාගාරයේ සේවා කටයුතු ආරම්භ කිරීමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගීත්වයෙන් අද  (14) පෙරවරුවේ සිදුවිය .

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 92කට අධික මුදලක් වැයකර ඇත.  

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෙතෙක් පැවති ප්‍රාථමික සත්කාර ඒකකය (PCU) ඉතා අවම පහසුකම් සහිතව අඩු ධාරිතාවයකින්  ක්‍රියාත්මක වූ අතර දිනෙන් දින වැඩිවන හදිසි ප්‍රතිකාර සදහාවන ඉල්ලුම සැලකිල්ට ගනිමින්  පැවති ගොඩනැගිල්ල හා ඊට යාබදව ඉදිකරන ලද නව පරිශ්‍රය ද ඒකාබද්ධ කර පුළුල් පරිශ්‍රයක මෙම නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය  Accident and Emergency Care Unit (A&E – Level II) පිහිටුවීමට පියවර ගෙනඇත.  

අවම පහසුකම් යටතේ පවා මෙම ප්‍රතිකාර ඒකයෙන් 2025 වර්ෂයේ දී රෝගීන් 31981 දෙනෙකු ප්‍රතිකාර ගැනීම සැලකිල්ලට ගනිමින් කඩිනම් සහ ප්‍රමුඛ අවශ්‍යතාවයක් සේ සලකා මෙම ඒකකය  නව්‍යකරණය කර පුළුල් පරිශ්‍රයක පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයකට අනූව මෙම ව්‍යාපාතිය ආරම්භ  කෙරිණි.

හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීන පහසුකම්වලින් සමන්විතව නව්‍යකරණය කිරීම සඳහා රුපියල් මිලියන 37ක් වෙන්කර තිබූ අතර රෝහලේ ප්‍රධාන රසායනාගාරය සම්පූර්ණයෙන්ම නවීන පහසුකම් වලින්  සමන්විතව නව ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීම සදහා රුපියල් මිලියන  55ක මුදලක් වෙන් කරනු ලැබීය.

මෙම ඒකකයන් ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  මීට මාස කිහිපයකට පෙර මෙම රෝහලට පැමිණි විට දකින්නට ලැබුණු ප්‍රාථමික සත්කාර ඒකකයට  වඩා නව්‍යකරණය කරන ලද නවීන  පහසුකම් වලින් සමන්විත  හදිසි අනතුරු හා  හදිසි ප්‍රතිකාර ඒකකයක් අද දකින්නට ලැබෙන බව පැවසීය.

රජයේ රෝහල් පද්ධතියේ පසුගිය කාලයේ ඉදිකිරීම් ආරම්භ කර අතරමග  නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භකර අවසන්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට විශාල මුදලක් වැය කර ඇති බව ද  සඳහන් කල   අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙන බවද පැවසීය.

කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් රට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය සේවාව තුළ සිටිය යුතු නමුත් ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති  බවත් එම කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කර සිටියේය.

සෞඛ්‍ය සේවාවට අවශ්‍යකරන සියලු කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා හෙද පීඨවලින් සහ හෙද විදුහලින් උපරිම ධාරිතාවයෙන්  හෙද හෙදියන් පුහුණු කරමින් සිටින බවත් සදහන් කල අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ  පත්වීම් ලබාදීමේ දී කිසිදු විෂම කාර්යයක් සිදු නොවන බව  පැවසීය.

මේ වන විට කාර්ය  මණ්ඩල සංඛ්‍යා සංශෝධනය සිදු කරන බවත් එය අවසන් අදියරේ තිබෙන බවත් සඳහන් කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස මුදල් අමාත්‍යාශය, කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව හා එක්ව සාකච්ඡාකර ඉදිරි වසර තුන සඳහා අවශ්‍යකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනුමතකර ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කර සිටියේය.

මෙරට ජීවත් වන ජනතාවට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සෞඛ්‍ය අමාත්‍යංශයේ මුඛ්‍ය අරමුණ බවත්, විශේෂයෙන්ම රෝහල් පද්ධතිය තුළ නව ලෝකයට ගැලපෙන පරිදි ජනතාවගේ ජීවිතය වෙනස් වී තිබෙන හෙයින් ඊට ගැලපෙන පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමද වෙනස් විය යුතු බවද පැවසීය.

හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර  ඒකකවල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් දක්වන ඉහළ මට්ටමේ දායකත්වය මෙහි දී ඇගැයීමට ලක් කර ලක්කර අමාත්‍යවරයා එම කටයුතු විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෙනම අධ්‍යක්ෂ කාර්යාලයක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන බවද සඳහන් කර සිටියේය.

මෙම අංශය ශක්තිමත් කිරීමෙන් රෝහල්වලට පැමිණෙන ධාරිතාවය  යම් ප්‍රමාණයක් අඩුකර ගැනීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි  මහතා පේරාදෙණිය ශික්ෂණ රෝහල  අදියරින් අදියර සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

මෙරට වෛද්‍ය පීඨයකට අනුබද්ධ ප්‍රමුඛතම රෝහලක් ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහල හඳුන්වා දිය හැකි බවත්, රෝහල සවර්ධනය කරන අතරම  මෙරට ක්‍රියාත්මක නිදහස්  සෞඛ්‍ය සේවාව සැලසුම් සහගතව සංවර්ධනය කිරීමට කටයුතුකරන බවත් සඳහන් කර සිටියේය.

මෙම ඒකකයන් විවෘත කිරීමෙන් අනතුරුව රෝහල් විශේෂ නිරීක්ණ චාරිකාවකද නිරතවුනු  අමාත්‍යවරයා  රෝහල් කාර්ය මණ්ඩලය සමග  විශේෂ සාකච්ජාවක් පැවැත්වීමටද කටයුතු කරන ලදී.

නවීන පහසුකම් සහිතව ස්ථාපනය කරන ලද  හදිසි අනතුරු සහ හදිසි සත්කාර ඒකකයේ නවීකරණයට පෙර එහි රෝගී ධාරිතාවය 18ක් වූ අතර නවීකරණයෙන් පසු එම ධාරිතාවය 47ක් දක්වා වර්ධනය වී ඇත. (Wall O2) වෝල් ඔක්සිජන් පහසුකම් රෝගීන් 05 දෙනෙකුට පමණක් නව්‍යකරණයට පෙර සීමා වී තිබුණු අතර මේවන විට එම පහසුකම 15ක් දක්වා වැඩිකර ඇත. ඒකකයේ කාර්ය මණ්ඩලය පෙර 69වූ අතර එම පිරිස මේවන විට 144ක් දක්වා ඉහළ නැංවීමට ද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකර ඇත.

පේරාදෙණිය ශික්ෂණ රෝහලට යාබදව රසායනාගාර කාර්මික විද්‍යාඥ පුහුණු පාසල  පැවති අතර මේවන විට එම රසායනාගාර කාර්මික විද්‍යාඥ පුහුණු පාසල ක්‍රියාත්මක නොවන හෙයින් එම ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන  රෝහලේ ප්‍රධාන රසායනාගාරයට අවශ්‍යවන පරිදි සම්පූර්ණ නවීකරණයට ලක්කර  මෙම  ප්රධාන වෛද්ය රසායනාගාරය එහි ස්ථාපිත කර ඇත.

රෝහලේ ප්‍රධාන රසායනාගාරය මගින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසික රෝගීන්, බාහිර රෝගීන් සහ අවට ප්‍රාථමික රෝහල් වෙතින් කරනු ලබන ඉල්ලීම් සදහා මෙන්ම ජෛව රසායනය (Biochemistry), රක්තවේදය (Haematology), ක්ෂුද්‍රජීව විද්‍යාව (Microbiology), හිස්ටෝපාත් විද්‍යාව (Histopathology) යන අංශ මගින් හදිසි හා සාමාන්‍ය පරීක්ෂණ මෙන්ම රුධිර බැංකු සේවා සඳහා ද අවශ්‍ය වෛද්‍ය පරීක්ණ සේවා සපයනු ලබයි.  

1980 අගෝස්තු මාසයේ දී ජපාන රජය විසින් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාගකරන ලද පේරාදෙණිය ශික්ෂණ රෝහල මෙරට මධ්‍යම පළාතේ පිහිටි ප්‍රමුඛතම තෘතියික සත්කාරක සේවා සපයන රෝහලකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය, දන්ත සහ පරිපූරක වෛද්‍ය පීඨවල සිසුන් සඳහා ප්‍රධාන සායනික පුහුණු මධ්‍යස්ථානය ලෙසින් ද පශ්චාත් උපාධි සිසුන්ට පර්යේෂණ පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙසද  මෙම රෝහල භාවිතා කරයි.

මධ්‍යම පළාතේ වෙසෙන මිලියන 2.4කට ආසන්න ජනගහනයකට මෙන්ම උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව පළාත්වලින්ද විශේෂ ප්‍රතිකාර සදහා රෝගීන් මෙම රෝහලට යොමුකරනු ලබයි.

රෝහලේ ඇදන් ධාරිතාවය 1008කි. වාර්ෂිකව නේවාසික රෝගීන් 80,000කට අධික සංඛ්‍යාවකට මෙන්ම බාහිර රෝගී අංශය මගින් වාර්ෂිකව 250,000 අධික සංඛ්‍යාවකට සහ වාර්ෂිකය සායනික රෝගීන් 300,000 මෙම රෝහල මගින් ප්‍රතිකාර සේවාවන් සපයනු ලබයි.

මෙම  අවස්ථාවට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න, මහනුවර ජාතික රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමුදු බණ්ඩාර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍යවරුන්වන වෛද්‍ය සේනක නවනැලිය,වෛද්‍ය ප්‍රදීප් දිසානායක, යන මහත්වරුන් මෙන්ම අවට රෝහල්වල අධ්‍ය්ෂවරුන්,වෛද්‍ය අධිකාරීවරුන්, සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද   එක්ව සිටියහ.