මෙම දිනවල සිදුකෙරෙන ඩෙංගු මර්දන කටයුතු සමග ඩෙංගු පාලනයක් අපේක්ෂා කරනවා - කැබිනට් ප්‍රකාශක

මෙම දිනවල සිදුකෙරෙන ඩෙංගු මර්දන කටයුතු සමග ඩෙංගු පාලනයක් අපේක්ෂා කරනවා - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

මෙම දිනවල සිදුකෙරෙන ඩෙංගු මර්දන කටයුතු සමග ඩෙංගු ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට වළක්වා ගැනීමට බලාපොරොත්තු වන බව කැබ්නට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 37,654ක් වාර්තා වී ඇතැයිද, වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් රෝගීන් 8602ක් මැයි මාසයේ වාර්තා වුණු බවද අමාත්‍යවරයා පැවසුවේය.ජනවාරි මාසයේ රෝගීන් 7866ක් වාර්තා වූ අතර අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම යම් ප්‍රමාණයක් අඩු වූ බවද සිහිපත් කළ අමාත්‍යවරයා ජුනි මාසයේ රෝගීන් 3801ක් දැනට වාර්තා වී ඇතැයිද සදහන් කළේය. මීට අමතරව මේ වන විට ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇතැයිද මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මාසයේදීත් පළාත් පාලන ආයතන මට්ටමෙන් පිරිසිදු කිරීමේ කටයුතු කඩිනම් කළ බවද පැවසුවේය.

යළිත් වතාවක් ඩෙංගු මර්දන ඒකකයේ මැදිහත් වීම සහිතව මෙම දින කිහිපයේදී පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු වේගවත් කර ඇතැයිද ඊයේ ස්ථාන 31,196ක් පරීක්ෂාවට ලක්කළ බවද එයින් 8121ක් ඩෙංගු බෝ වීමේ හැකියාව සහිත ස්ථාන ලෙස හදුනාගත් බවද ලාවා සිටින ස්ථාන ලෙස ස්ථාන 2097ක් හදුනාගත් බවද අවධාරණය කළේය.

ස්ථාන 789කට නීතිමය ක්‍රියාමාර්ග ගත් බවද 1168කට නිවේදන නිකුත් කළ බවද පැවසුවේය. මෙම කටයුතු නිරන්තරයෙන් සිදුවන බවද මේ සමගම ඩෙංගු ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට වළක්වා ගැනීමට බලාපොරොත්තු වන අතර දැනට රෝහල්වල මෙම කටයුතු කළමනාකරණය කරගෙන යන බවද සඳහන් කළේය.