ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය (Chartered Institute of Media Professionals of Sri Lanka) මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහාම ස්වාධීනව පිහිටුවන ආයතනයක් බව කැබිනට් මණ්ඩල ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අදාළ ආයතනය පිහිටුවීමට සම්බන්ධ පනත් කෙටුම්පත රජය විසින් මේ වන විට ගැසට් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ආයතනය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ ලෙස දැක්වෙන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වා දීම සහ ඒවා පවත්වාගෙන යාමයි.
වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස්ද ලබාගෙන ඇති බවයි.
මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ නොතිබූ පළමු වරට පිහිටුවන ආකාරයේ ආයතනයක් බවද ඔහු පැවසීය.
දැනට මෙය ගැසට් මට්ටමේ පවතින අතර ඉදිරියේදී අවශ්‍ය සංශෝධන සිදුකිරීමටද හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


