හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් හෝ වෙනත් වරප්‍රසාද ඉල්ලා සිටී නම් ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව එම අමාත්‍යංශය දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති අතර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 0702724637 (වට්ස් ඇප්) අංකයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 අංකය වෙත තොරතුරු ලබා දිය හැකි වේ.
අධිකරණ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගරු සේවයක් ලබාදීම වෙනුවෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කරනු ලබන අතර ඔවුන් එම සේවය දවසේ ඕනෑම වේලාවක ලබා දිය යුතු වේ.
එසේම ඔවුන්ගේ සේවය වෙනුවෙන් ඔවුන්ට මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලබාදීම නීති විරෝධි වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
මියගිය පුද්ගලයින්ගේ ඥාතින් පසුවන සංවේදී මානසික තත්වය උපයෝගි කර ගනිමින් ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් එම ඥාතීන්ගෙන් අල්ලස් ලෙස මුදල් මෙන්ම වෙනත් වරදාන සහ වරප්‍රසාද ගන්නා බවට නිරන්තරයෙන් අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙන බවද අධිකරණ අමාත්‍යංශය පෙන්වා දේ.


