ශ්‍රී ලංකා දේශගුණික සමුළුව 2026 පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා දේශගුණික සමුළුව 2026 පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ
  • SocialShare:

ලංකා වාණිජ මණ්ඩලය විසින් දෙවන වරට සංවිධානය කරන ලද ශ්‍රී ලංකා දේශගුණික සමුළුව 2026 (Sri Lanka Climate Summit 2026) අද (09) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

“අවදානමෙන් අවස්ථාවට: ශ්‍රී ලංකාවේ වර්ධන මාවතට දේශගුණික ක්‍රියාකාරකම් බද්ධ කිරීම” (From Risk to Opportunity: Mainstreaming Climate Action into Sri Lanka's Growth Story) යන තේමාව යටතේ පැවත්විණි.

මෙම සමුළුවේදී අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා “ශ්‍රී ලංකාව ආයෝජන සඳහා දේශගුණික වශයෙන් සූදානම්ද?” යන තේමාව ඔස්සේ දේශගුණික ආයෝජන ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්, මූල්‍ය ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර සමීප සහයෝගීතාවක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළේය.

දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම හා චක්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරමින් සිටින වැඩසටහන් පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

විශේෂයෙන්ම විධිමත් නොවන අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ දායකත්වය ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය සහ හරිත ආර්ථිකයට බද්ධ කිරීම සඳහා ක්‍රියාත්මක වන ජාතික හා පළාත් මට්ටමේ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම දේශගුණික බලපෑම් අවම කිරීමේ පියවරක් ලෙස, රජය විසින් කාර්මික අංශයේ විමෝචන අවම කිරීමේ ඉලක්කය 13% ක කැපවීමක් දක්වා දෙගුණ කිරීමට සුවිශේෂී ප්‍රතිපත්තිමය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මගින් සපුරා ගැනීමත්, 2050 වන විට සම්පූර්ණයෙන්ම කාබන් මධ්‍යස්ථ (Carbon Neutral) රටක් බවට පත්වීමත් ශ්‍රී ලංකාවේ දේශගුණික පරිවර්තන ගමනේ ප්‍රධාන ඉලක්ක බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ කාර්යාලයේ (UNDRR) ආසියා සහ ශාන්තිකර කලාපීය ප්‍රධානී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිතතුමිය, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN-FAO) ශ්‍රී ලංකා නියෝජිතවරයා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිතුමා මෙන්ම ව්‍යපාරිකයන්, තාක්ෂණික විශේෂඥයින් රැසක් සහභාගී වූහ.