බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් සහ තිරසාර විසඳුම් සෙවීම සඳහා පත්කළ කාර්යසාධක බලකාය අද (05) සිය මෙහෙයුම් ආරම්භ කළේය.
කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් මගීන් සහ ප්‍රදේශවාසීන් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින්, මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර, ඒ් අනුව මෙම කාර්යසාධක බලකාය පත්කර තිබේ.
එම වැඩපිළිවෙළ යටතේ කටුනායක ප්‍රදේශයේ ඇළමාර්ග පිරිසිදු කිරීම සහ ඒවායේ ජල ධාරිතාව ඉහළ නැංවීමේ කටයුතු අද සිට ආරම්භ කෙරිණි. අදාළ රාජ්‍ය ආයතන එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් ඇළමාර්ගවල පවතින අවහිරතා ඉවත් කර වැසි ජලය කාර්යක්ෂමව බැසයාමට පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.
මෙම ක්‍රියාමාර්ග හරහා ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම අවම කිරීමට මෙන්ම, අධික වර්ෂාපතන සමයේ අවට ප්‍රදේශවාසීන් මුහුණ දෙන ගංවතුර අවදානම ද සැලකිය යුතු ලෙස අඩු කිරීමට අපේක්ෂා කෙරේ.
ගුවන් මගීන් සහ මහජනතාව මුහුණ දෙන දෛනික අපහසුතා මඟහරවාලීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කරන අතර, ගැටලුවට ස්ථිර සහ තිරසාර විසඳුම් ලබාදීම සඳහා සියලුම අදාළ ආයතන එක්ව දිගුකාලීන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ද ඉදිරියට ගෙන යාමට නියමිතය.


