මෙවර යල කන්නය සඳහා අවශ්‍ය වන ප්‍රධාන පොහොර වර්ග තුන වන යූරියා , බණ්ඩි පොහොර සහ මඩ පොහොර ප්‍රමාණවත්ව පවතින බවත් පසුගිය කන්නයේ පොහොර භාවිතය සැළකීමෙන් අනතුරුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක් , මඩ පොහොර (TSP) මෙට්‍රික් ටොන් 19,000ක් ද බණ්ඩි පොහොර (MOP) මෙට්‍රික් ටොන් 42,500ක් පමණ අවශ්‍ය වනු ඇති බවට පුරෝකතනය කර ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහෙට්ටිගේ මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එසේම මාර්තු මස සිදු කරන පොහොර තොග ගණනයේදී වෙළඳසැල්වල පවතින යූරියා තොග මෙට්‍රික් ටොන් 6,000ක් ද සමාගම් ගබඩාවල මෙට්‍රික්ටොන් 95,000ක්ද පැවති බවත් අප්‍රේල් සහ මැයි මාසවල මෙට්‍රක් ටොන් 25,000ක් බැගින් ආනයනය කළ බව ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව සමස්ත යූරියා තොග මෙට්‍රික් ටොන් 151,000ක් පවතින අතර අවශ්‍ය වන්නේ මෙට්‍රික්ටොන් 125,000ක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
රජය පෞද්ගලික පොහොර සමාගම් සතු පොහොරවලින් සියයට 65ක් වී වගාවට සහ සියයට 35ක් සෙසු භෝග සඳහා ලබා දීමට අවසර ලබා දී ඇති බවත් ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 108,5000ක් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.එසේම TSP පොහොර මෙට්‍රික් ටොන් 16,300ක්ද MOP පොහොර මෙට්‍රික් ටොන් 27,600ක් නිකුත් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ඉදිරි මහ කන්නය සඳහා ද පොහොර පවතින බව දුන් ඒ මහතා ඉදිරියේදී යූරියා මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති අතර දේශීය පොහොර නිෂ්පාදනයට කටයුතු කරන බවද කීය.


