රුසියානු සෞඛ්‍ය ඇමති කොළඹ ජාතික රෝහල නිරීක්ෂණය කරයි

රුසියානු සෞඛ්‍ය ඇමති කොළඹ ජාතික රෝහල නිරීක්ෂණය කරයි
  • SocialShare:

තෙදින නිල සංචාරයක නිරත රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr. Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිස, කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

​මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට සෞඛ්‍ය ආයතන නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වීම සහ දෙරට අතර වෛද්‍ය දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව සොයා බැලීමයි. ඒ අනුව, ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ හදිසි අනතුරු අංශයේ ක්‍රියාකාරිත්වය සහ භාවිත කෙරෙන නවීන වෛද්‍ය උපකරණ පිළිබඳව රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පිරිස නිරීක්ෂණය කළහ.

​මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව සහ සෞඛ්‍ය වෘත්තීකයන්ගේ කැපවීම අගය කළ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා, දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම සංචාරය විශාල පිටුබලයක් වනු ඇති බව සඳහන් කළේය.

​මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, නියෝජ්‍ය ලේඛකාධිකාරී ආර්. ලෝගේන්ද්‍ර, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර හා විශේෂඥ වෛද්‍ය ඉන්දික ජාගොඩ, ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක, රෝහල් ලේකම්වරුන් වන සුරේෂ් අබේකෝන්, නිලංග රුද්‍රිගෝ හා සකුන්තලා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.