පළමු මෙට්‍රො බස් ඩිපෝවේ ඉදිකිරීම් කඩවතදී ඇරඹේ

පළමු මෙට්‍රො බස් ඩිපෝවේ ඉදිකිරීම් කඩවතදී  ඇරඹේ
  • SocialShare:

ලංගම බස් සේවාව ප්‍රතිසංවිධානය කරමින් විනිවිදභාවයෙන් යුත් නව කළමනාකරණ ක්‍රමවේදයක් යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු මෙට්‍රො බස් ඩිපෝව ඉදිකිරීම ඊයේ(04) කඩවතදී ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රුපියල් මිලියන 102 ක වියදමින් ඉදිකෙරෙන මෙම ඩිපෝව එළඹෙන ජූලි 30 වනදා වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙන අතර, එය කඩවත – ගනේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ ලංගම ඩිපෝවට අසල ස්ථාපිත කෙරේ.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ ආරම්භ විය.

මෙට්‍රො බස් සේවාව මේ වනවිට බස් රථ 10 ක් යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර, එළඹෙන අගෝස්තු මාසයේ සිට බස් රථ 122 ක් සහ ප්‍රධාන මාර්ග 06 ක් දක්වා එය පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

ඒකාබද්ධ ගෙවීම් ක්‍රම, නව බස් නැවතුම්, ඩිපෝ පද්ධති සහ අනෙකුත් ප්‍රවාහන සේවා සමඟ සම්බන්ධතා ඇති කිරීම ඇතුළු දිගුකාලීන සැලසුම් ද මේ සමඟ ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යංශය පවසයි.

කඩවතට අමතරව ඒකල, රත්මලාන සහ තලංගම ප්‍රදේශවලද නව මෙට්‍රො ඩිපෝ ඉදිකිරීමට නියමිත අතර, බස්නාහිර පළාත තුළ සමස්තයෙන් මෙට්‍රො ඩිපෝ 04 ක් ස්ථාපිත කෙරෙනු ඇත.