දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ආනයන - අපනයන පාලනයට නව රෙගුලාසි

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ආනයන - අපනයන පාලනයට නව රෙගුලාසි
  • SocialShare:

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් අබලි ලෝහ නිෂ්පාදන, විවිධ ලෝහ අනුරූ සහ ලෝහ අබලි නීතිවිරෝධී ලෙස අපනයනය වැළැක්වීම සඳහා නව අපනයන පාලන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, එවැනි භාණ්ඩ අපනයනය කිරීම සඳහා අපනයන පාලන බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට 2026 මාර්තු 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා 2026 අංක 05 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, 2026 ජුනි 15 දිනැති අංක 2493/03 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම, පෙර ගෙවීම් ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ නියමිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ගෙන එන බව තහවුරු කිරීම සඳහා නව විධිවිධාන හඳුන්වා දීමට 2011 අංක 1 දරන විශේෂ ආනයන බලපත්‍ර සහ ගෙවීම් ක්‍රම රෙගුලාසි සංශෝධනය කර ඇත.

ඒ අනුව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2026 අංක 06 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි 2026 ජුනි 18 දිනැති අංක 2493/39 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කළ රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.