වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 39500ක් මෙම කන්නයේ මිලදී ගන්නවා - කැබිනට් ප්‍රකාශක

වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 39500ක් මෙම කන්නයේ  මිලදී ගන්නවා - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 39500ක් මෙම කන්නයේ  මිලදී ගැනීමට බලාපොරොත්තු වන අතර මිලදී ගැනීම් සඳුදා (13) ආරම්භ වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඒ සදහා අවශ්‍ය ගබඩා වයඹ, උතුර, අනුරාධපුර, අම්පාර, දකුණ, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොනරාගල ආදී දිස්ත්‍රික්කවල ගබඩා 143කදී වී මිලදී ගැනීමට කටයුතු කරන බවද පැවසුවේය. ඊට අමතරව වී මිලදී ගැනීම සදහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලබාදීමට ඔඩපණ ණය බිලියන 10ක් රජය ඒ වෙනුවෙන් ලබාදුන් අතර ඒ අයත් වී මිලදී ගැනීම කරන බව සදහන් කළේය.

දැනට නාඩු රුපියල් 120ට සම්බා රුපියල් 130ට කීරි සම්බා රුපියල් 140ට මිලදී ගන්නා බවද පැවසුවේය. යම් සහල් වර්ග වල හිඟයක් පවතින බවද එම හිඟය දෙස බලා රටින් සහල් ගෙන්වීමට යම් අනුමැතියක් ලබාදෙන බවද එහිදී අපගේ දේශීය ගොවියා ආරක්ෂා කිරීමට ප්‍රථමයෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බවද අවධාරණය කළේය.

ගොවියාගේ අස්වැන්නට ප්‍රමුඛතාවය ලබාදී එම අස්වැන්නෙන් වෙළඳපොළ අවශ්‍යතාවය සම්පූර්ණ නොවේනම් පමණක් යම් සහල් ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු කරනා බවද වැඩිදුරටත් පැවසුවේය. රජයේ වී ගබඩාවලට දැරිය හැකි ධාරිතාවක් පවතින බව පැවසූ අමාත්‍යවරයා පුද්ගලික අංශය විසින් විශාල වශයෙන් වී මිලදී ගැනීම කරන බවද පැවසුවේය. රජයට අවශ්‍ය වන්නේ ඉදිරිපත් කර ඇති සහතික මිලට වී මිලදී ගැනීම කිරීමට බව පැවසූ අමාත්‍යවරයා එවිට පුද්ගලික අංශයත් ඊට ආසන්න මිලකට වී මිලදී ගැනීමට කටයුතු කරනු ඇතැයිද සදහන් කළේය.

ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට සත්ත්ව ආහාර සදහාද යම් ප්‍රමාණයකට අවසර ලබාදුන් බවද විවිධාකාර යෝජනා පවතින බව සිහිපත් කළ අමාත්‍යවරයා එම යෝජනා හැමබ එකක්ම ක්‍රියාත්මක කළ නොහැකි යැයිද රජය යම් ප්‍රමාණයක් වී මිලදී ගැනීම තුළින් වෙළඳපොළ කළමනාකරණය කරගැනීමට උත්සාහ කරමින් පවතින බවද අවධාරණය කළේය.

පාරිභෝගික අවශ්‍යතාවය සහ නිෂ්පාදනය අතර යම් පරස්පරතාවයක් පවතින බවද එය ක්‍රමානුකූලව නිරාකරණය කරගනිමින් යන බවද පැවසුවේය.