බන්ධනාගාර පුළුල් කිරීමේ වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මකයි - කැබිනට් ප්‍රකාශක

බන්ධනාගාර පුළුල් කිරීමේ වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මකයි - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

රට පුරා බන්ධනාගාර පුළුල් කිරීමේ වැඩසටහනක් මේ වන විට අදියර වශයෙන් ක්‍රියාත්මක කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බන්ධනාගාරවල රැඳවියන් රඳවා තැබීමේ ධාරිතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විටත් වැලිසර ප්‍රදේශයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදිකර ඇති බවත් ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක බන්ධනාගාර පුළුල් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.

එම මාධ්‍ය හමුවට එක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර මහතා සඳහන් කළේ, අධිකරණ අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මිල්ලෑව ප්‍රදේශයේ නව බන්ධනාගාර පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි.

කොළඹ පිහිටි බන්ධනාගාර එම නව පරිශ්‍රය වෙත ගෙන යාමේ සැලසුමක් පවතින අතර, කොළඹ ඉඩමේ තක්සේරු වටිනාකම සහ මිල්ලෑව ව්‍යාපෘතිය සඳහා වූ තක්සේරු වාර්තා අතර පැවති පරතරය හේතුවෙන් එම ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවත් මේ වන විට එහි කටයුතු නැවත ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.

තවද, වටරැක බන්ධනාගාරයේ සංවර්ධන කටයුතු අදියර වශයෙන් ආරම්භ කර ඇති අතර බෝගම්බර ඇතුළු තවත් බන්ධනාගාර කිහිපයක ඉදිකිරීම් හා පුළුල් කිරීමේ ව්‍යාපෘති ද ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කළේය.

රැඳවියන් තාවකාලිකව රඳවා තැබීම සඳහා තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීමට ද පියවර ගෙන ඇති බවත් මෙම සියලු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අධිකරණ අමාත්‍යාංශය මට්ටමින් ගෙන ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.