2023 මාර්තු 3 සිට මැයි 16 දක්වා කාලය තුළ අක්ෂි සැත්කම්වලින් පසු භාවිත කළ ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය සම්බන්ධයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් දෘෂ්ටිය අහිමි වූ තවත් රෝගීන් 4 දෙනෙකු සඳහා වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම්වලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ පෙනීම අහිමි වීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵල මත එම රෝහලේ රෝගීන් 17 දෙනෙකු සඳහා මීට පෙර වන්දි ලබා දී තිබුණි.
ඊට අමතරව, අදාළ කාලය තුළ වෙනත් රෝහල්වලදී ද මෙම ඖෂධය භාවිත කිරීමෙන් අක්ෂි ආබාධවලට ලක් වූ රෝගීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් තවත් අන්ධභාවයට පත් වූ රෝගීන් 4 දෙනෙකු සඳහා වන්දි ගෙවීම නිර්දේශ කර ඇත.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, එම රෝගීන් 4 දෙනා සඳහා එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වන්දි ලබා දීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.


