2026 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු සඳුදා දිනය ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නිවාස හා ජනාවාස සංවර්ධනයට අදාළ ගැටලු, විකල්ප විසඳුම් සහ නව ප්‍රවණතා පිළිබඳ සියලු පාර්ශ්වකරුවන්ගේ අවධානය යොමු කිරීම මෙන්ම ඒ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සංවාදයක් ගොඩනැගීම මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණු වේ.
2026 ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් 5 වැනි දිනට යෙදී ඇති අතර, එහි තේමාව ලෙස “Adequate Housing for All” යන්න ප්‍රකාශයට පත් කර ඇත.
ලොව පුරා ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතායතනය ලෙස නිවාස විෂය භාර අමාත්‍යාංශය විසින් අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල සහභාගීත්වයෙන් මෙවර ද ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ.


