මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ, රජය සහ සමාගම් වියදමේ කොටසක් දරාගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම මිල සංශෝධනය සිදු නොකළහොත් එය ඉදිරියේදී සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කරගනිමින් අඛණ්ඩ බලශක්ති සැපයුම තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් රට ඉදිරියට ගෙන යාම රජයේ බලාපොරොත්තුව බවද සඳහන් කළේය.
තවද, නැව් ගමනාගමනයට ඇති බාධා සහ ඉන්ධන මිලදී ගැනීමේදී ගෙවිය යුතු අතිරේක (premium) ගාස්තු ඉහළ යාමද වත්මන් තත්ත්වයට හේතුවක් වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
“රටක් ලෙස ආර්ථිකය වසා දැමීමක් හෝ අකුළා ගැනීමක් සිදු කිරීමට බලාපොරොත්තුවක් නැහැ. තෙල් නිෂ්පාදනාගාරවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් යුද්ධයේ බලපෑම් එක රැයකින් අවසන් නොවනු ඇත” යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩු කරමින් දෛනික ජීවිතයේ අනවශ්‍ය පරිභෝජනය සීමා කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.


