ඉදිරියේදී ඇති වන කුඩා වර්ෂාපතනයකදී වුවද යම් අනතුරුදායක තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති බැවින්, නාය යෑම් අවධානම ඇති ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන සම්බන්ධයෙන් සැලකිළිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසීය.
අද(12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.
මේ වන විට දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක 06ක් සහ යාබද දිස්ත්‍රික්ක 08ක පමණ, එනම් ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 30%ක් පමණ නාය යෑමට ලක්වීමේ අවධානම ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයිද ඒ මහතා පැවසීය. චන්ද්‍රිකා ඡායාරූප ආධාරයෙන් දිවයින පුරා මීටර් 10ට වැඩි නාය යෑම් ස්ථාන 1241ක් හඳුනාගෙන තිබේ.
පසුගිය දිනවල දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙම දිස්ත්‍රික්කවලින් ස්ථානීය පරීක්ෂාවන් සිදු කරන ලෙස ඉල්ලීම් 2710ක් ලැබී ඇතැයිද ඒ මහතා පැවසීය. එම ඉල්ලීම්වලට අනුව ස්ථානීය පරීක්ෂා 589ක් සිදු කර ඇත. ඊට අමතරව කණ්ඩි කඩා වැටීම් 482 ක් , බෑවුම් අස්ථාවර වීම් 736ක් , ගල් පෙරළීම් 43ක් ඇතුළු වෙනත් අවස්ථා 209ක්ද පරීක්ෂා කර ඇති බවද කීය. විශ්ව විද්‍යාල සහ වෙනත් පෞද්ගලික ආයතනවල කණ්ඩායම් 50ක් පමණ මෙම පරීක්ෂා කිරීම් සඳහා එක් වී තිබේ.තවත් කණ්ඩායම් 15ක් මධ්‍යම පළාතේ පාසල් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.
මේ වන විට චන්ද්‍රිකා ඡායාරූප ආධාරයෙන් දිවයින පුරා මීටර් 10ට වැඩි නාය යෑම් ස්ථාන 1241ක් හඳුනාගෙන තිබේ. චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් මෙම දත්ත ලබා ගත් බවත්, වැලිමඩ ප්‍රදේශයේ වළාකුළු තත්ත්වයක් පැවති නිසා දත්ත ලබා ගැනීමේදී නිවැරදි දත්ත ලබා ගැනීමට නොහැකි වූ බවද වසන්ත සේනාධිර මහතා වැඩිදුරටත් පැවසීය.
තමන් ජීවත්වන ප්‍රදේශවලට නාය යෑම් අවධානමක් ඇත් නම් එවැනි ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි ලෙස අවධානයෙන් පසු වන්නැයිද ඒ මහතා ඉල්ලා සිටියේය. හදිසි අවස්ථාවක් මතු වුවහොත් එවැනි ප්‍රදේශවල වෙසෙන ජනතාව, තමන්ගේ ප්‍රදේශවල තිබෙන වඩාත් ආරක්ෂාකාරී ස්ථානයකට ගොස් ජීවිත ආරක්ෂාව සළසා ගන්නා ලෙසද වැඩිදුරටත් පැවසීය. පසුගිය දිනවල සිදු වූ මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කණ්ඩි කඩා වැටීම නිසා බවද ඒ මහතා පැවසීය.
ඉදිරියේදී ඇති වන කුඩා වර්ෂාපතනයකදී වුවද යම් අනතුරුදායක තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති බවද ඒ මහතා පැවසීය. උදාහරණයක් ලෙස දැඩි වාර්ෂාපතනයක් ලැබී නොතිබූ මීගහකිවුල ප්‍රදේශයේ පෙරේදා නාය යෑමක් වාර්තා වී තිබේ. දෙමෝදර ප්‍රදේශයේ යම් පැල්මක් ඇති වූ බවට වාර්තා වී ඇත.
මේ වන විට 15,000කට අධික පිරිසකට තමන් ජීවත්වන ප්‍රදේශවල අනතුරුදායක බව පිළිබඳ දැනුම් දී අතැයිද කීය. 2019 වර්ෂයේ සිට කඩුගන්නාව, වැලමිට වංගුව ප්‍රදේශය නාය යෑමට අධි සංවේදී ප්‍රදේශයක් බවට වාර්තාවක් ලබා දී තිබූ බවත් , පුළුල් අධ්‍යනයකින් තොරව ඉදිකිරීම් සිදු නොකරන ලෙද දැනුම් දී තිබූ බවද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා වැඩිදුරටත් පැවසීය


