ඊසාන දිග මෝසම සක්‍රීයයි - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සීරුවෙන්

ඊසාන දිග මෝසම සක්‍රීයයි - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සීරුවෙන්
  • SocialShare:

ඊසානදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් උතුරු පළාතට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් ද උතුරු මැද ,නැගෙනහිර , මධ්‍යම සහ ඌව පළාත්වලට සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක්ද බටහිර සහ දකුණු පළාත්වලට සාමාන්‍යයට වඩා අඩු අකුණු සහිත වර්ෂාපතනයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇති බැවින් ත්‍රිවිධ හමුදාව , පොලීසිය සිවිල් ආරක්ෂක බලකාය සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් මේ තත්වයට මුහුණදීමට සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
දිට්වා සුළි කුණාටුවෙන් ලැබුණු වර්ෂාපතනයත් සමග ඇළ-දොළ ,ජලාශ පිරී ඇති බැවින් සහ භූමිය තෙත්ව ඇති බැවින් කුඩා වර්ෂාවකින් පවා ගස් කඩා වැටීම් , නාය යාම් වැනි හානිකර තත්වයක් ඇති විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා ජනතාව ඒ පිළිබඳව අවබෝධයෙන් පසු වන ලෙස වැඩිදුරටත් අවධාරණය කරයි.
එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසර තිහක ඊසාන දිග මෝසම් වර්ෂාව පිළිබඳ රැස් කරගත් දත්ත පරිශීලනය කරමින් මෙම වාර්තාව ලබා දී ඇති බව පෙන්වා දුන් ඒ මහතා දෙසැම්බර්, ජනවාරි මාසවලදී අඩු පීඩන ප්‍රදේශ , තරංගාකාරයේ කැළඹීම් , අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ අවදානමක් පවතින බවද හෙතෙම සඳහන් කරයි.එසේ වුවහොත් මෙම කාලගුණික තත්වය වෙනස් විය හැකි බවත් ඒ පිළීබඳව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන බවත් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.