දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් තත්ත්වය නිසා දැඩි හානියට පත් මහියංගණ මුලික රෝහලේ වත්මන් තත්ත්වය පසුගියදා (10) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වුයේ රෝහල නැවත කඩිනමින් ප්‍රතිස්ථාපනය කරමින් රෝගී ප්‍රතිකාර සේවා ලබාදීම සඳහා පියවර ගැනීම වන අතර, රෝහලේ දැඩි ලෙස හානියට පත්ව තිබූ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලනිවාස, ඖෂධ ගබඩාව මෙන්ම කායික රෝග වාට්ටු සංකීර්ණය, විශේෂිත සත්කාර ඒකකය, ප්‍රධාන ශල්‍යාගාරය, රසායනාගාරය, හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ රෝගී වාට්ටු මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුලු පිරිස සිය නිරීක්ෂණයට ලක් කරන ලදි.
අනතුරුව රෝහලේ පාලනාධිකාරිය සහ රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝහලට සිදු වී ඇති හානි පිළිබඳවත්, රෝහල් කාර්ය මණ්ඩලයට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳවත්, රෝහලේ ප්‍රමුඛ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවත්, ඉදිරියේ දී මෙවැනි ව්‍යසනවලට මුහුණදීම සඳහා රෝහල ශක්තිමත් කිරීම පිළිබඳවත් විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පෙන්වා දෙන ලද්දේ හලාවත සහ මහියංගණය රෝහල් මෙම ව්‍යසනයෙන් දැඩි බලපෑමට ලක් වූ බවයි. රජයේ ස්ථාවරය නැතිවූ ජිවිත හැර අනෙකත් සියළු දේ ලබා දිය යුතුය යන්න බවත්, එහිදී ආපදාවට ලක් වූ ස්ථාන ඇතුලු සියලු දේ ජනතාවට තිබුණු තත්ත්වයට වඩා උසස් තත්ත්වයක් ලබා දිය යුතු බව ද පෙන්වා දෙන ලදි.


