අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 25 තුළ පවුල් 102,877 කට අයත් පුද්ගලයින් 373,428 ක් පීඩාවට පත් ව ඇති බවත් පුද්ගලයින් 123දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 130 අතුරුදහන් වී ඇති බවට වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( මාධ්‍ය) ජානක හඳුන්පතිරාජ මහතා පවසයි.
ඒ මහතා අද (29) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
පීඩාවට පත්වූ ජනතාවට සහන සැළසීම වෙනුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 488 ක් පවත්වා ගෙන යන බවත් එහි පවුල් 13,690ක පුද්ගලයින් 43,925 ක් මේ වන විට රැඳී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
තවදුරටත් ආපදා තත්ත්වය සළකා බලන විට දැදුරු ඔය , කලා ඔය,කැලණි ගඟ, යාන් ඔය , මහවැලි ගඟ, අත්තනගලු ඔය, මල්වතු ඔය ගංගාවල ජලම්ට්මම් ඉහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පෙනි යන බවත් එම ගංඟා ආශ්‍රිතව අධි ගංවතුර අවධානම් තත්වයන් පවතින බවද හෙතෙම පැවසීය.
විශේෂයෙන් මහ ඔය නිම්නයට ආසන්න පහත් බිම්වල වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස ද ඒ මහතා අවධාරණය කළේය.
තවද අරණායක ප්‍රදේශයේ අම්බලන්කන්ද ග්‍රාම සේවා වසමේ නායයාම් වාර්තා වන බවත් පුත්තලම දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජල මට්ටම ඉහළ යාමෙන් කරුවලගස්වැව, වනාත විල්ලුව ,නවගත්තගෙම , පල්ලම , ආරච්චිකට්ටුව , හලාවත , වෙන්නප්පුව ,මාදම්පේ සහ දංකොටුව ප්‍රදේශවල වෙසෙන පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සිදු කෙරෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මන්නාම දිස්ත්‍රික්කයේ කෝපායි කෝරායි වැව් බැම්ම කඩාගෙන යාම වාර්තා වූ බවත් ඒ හේතුවෙන් පෙරියමඩු ග්‍රාමයේ ජනතාව පීඩාවට පත් වී ඇති බවත් ඔවුන් එයින් මුදවා ගැනීමට අදාළ සියලු පාර්ශව වගකිමෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.
විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ නායයාම අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව හැකි ඉක්මනින් සුරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසද හෙතෙම සඳහන් කළේය.
මෙම අපදා තත්ත්වය හමුවේ මහජනතාව තමන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳවත් පරිසරයේ පවතින තත්වයන් පිළිබවඳත් අවධානයෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරන බවද ඒ මහතා පැවසීය.
ආපදා තත්ත්වයන් සහ ජලය වාන් දැමීම නිරික්ෂණය කිරීමට යාමෙන්ද දැඩි ජලය ගලා යාම ඇති ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින ලෙස ද ආපදා කළමනාකරණ නිලධාරීන් ඉල්ලා සිටින බවත් රථවාහනවල ගමන් කිරීම හැකිතාක් අඩු කර ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසුවේය.
හැකි සෑම අවස්ථාවකම 117 දුරකතන අංක හරහා ආපදා කළමනාකරණ නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙසත් අදාළ දිස්ත්‍රික්කයට අදාළ දුරකථන අංක පමණක් භාවිතා කරන ලෙසත් අවධාරණය කළේය.
පීඩාවට පත් මෙම ජනතාව මුදවා ගැනීමට ත්‍රිවිධ හමුදාව , පොලිසිය ,සහන සේවා කණ්ඩායම් සහ ස්වේච්ඡා සේවා කණ්ඩායම් කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.


