“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” මෙරට ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියේ පස්වන මධ්‍යස්ථානය මාතලේ, දන්කන්ද දී ජනතා අයිතියට

“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” මෙරට ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියේ පස්වන    මධ්‍යස්ථානය මාතලේ, දන්කන්ද  දී  ජනතා අයිතියට
  • SocialShare:

නිශ්චිතව  හඳුනාගත් ජනගහනයකට  අඛණ්ඩව, වගකීමක් සහිතව සෞඛ්‍ය සේවාව ලබා දීම නිසා  මෙරට ක්‍රියාත්මක මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවෙන් ඉහලම ජයග්‍රහණ අත්පත් කරගෙන  තිබෙන බවත්,  එම ක්‍රමවේදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත් අංශ සඳහා ද ආදේශ කළ  යුතු නිසා  ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය  ආරම්භ කළ  බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි .

 මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය  සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක්  පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම  අනුව එම අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කර ඇත.

ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි  ස්ථානයක ස්ථාපිත කරන මෙම  ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර නව රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත ය.

ඒ අනුව ක්‍රියාත්මකවන නියමු ව්‍යාපෘතියේ පස්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ දන්කන්ද  ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ලෙස පසුගිය දා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

නකල්ස් කදු පංතිය පෙනෙන මානයේ ඊට යාබද සුන්දර ගම්මානයක්වන දන්කන්ද ගම්මානයේ ස්ථාපිත මෙම  ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මගින් දංකන්ද, වෙරළුගස්තැන්න, දඹගොල්ල 1 යන ග්‍රාම සේවා වසම් තුනෙහි ජීවත්වන  පන්දහසකට ආසන්න ජනතාවකට සුව සෙත සැලයේ.

මෙහි දී පළමු සේවාලාභියා ලියාපදිංචිය හා සහ අදාල  කාඩ්පත ලබාදීම ද  අමාත්‍යවරයා අතින්  සිඳුකරන ලදී.

මෙහි පැමිණි  සිටි ජනතාව  දැනුවත් කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතා නව්‍ය  සංකල්පයක් ලෙස මෙම වැඩසටහන ආරම්භකල බවත්, පසුගිය 26 වන දා ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ, මාපලගම ආරෝග්‍යා  සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කළ බවත්,  දෙවන ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථානය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථානය සැප්තැම්බර් 27 වන දා  ආරම්භ කළ බවත් පැවසී ය.

එමෙන් ම   සැප්තැම්බර් 29 වන දා කළුතර දිස්ත්‍රික්කයේ,තල්පිටිය ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථානය තෙවන  මධ්‍යස්ථාන ලෙස  ආරම්භ කළ බවත්, අද දින මහනුවර දිස්ත්‍රික්කයේ, පොළගොල්ලවත්ත ආරෝග්‍යා  සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන සිවිවන මධ්‍යස්ථාන ලෙසත් මාතලේ දිස්ත්‍රික්කයේ ඔබේ ගමේ මෙම මධ්‍යස්ථානය පස්වන ආරෝග්‍යා  සුවතා මධ්‍යස්ථානය ලෙස  ආරම්භ කරන  බව ද  පැවසීය.

බෝ නොවන රෝග, වයස්ගත ජනගහන ගැටළු, මානසික සෞඛ්‍ය සහ පෝෂණය වැනි කාරණා වල දී නිෂ්චිත ජනගහනයක් හදුනාගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ඔවුන් රැකබලා ගැනීම  අවශ්‍යවන බවත්, ග්‍රාම නිලධාරී වසම් හතරක හෝ පහක පන්දහසක්, දසදහසක්  අතර ජනතාවක්  ආවරණය වන පරිදි සෞඛ්‍ය කණ්ඩායමක් ද  හඳුන්වා දී  එම ජනතාව මෙම මධ්‍යස්ථානයට භාර කරන බවත්, මෙය රෝහලක් නොවන බවත්, නාම පුවරුවේ සඳහන් පරිදිම මෙය සුවතා මධ්‍යස්ථානයක් බව ද අවධාරණය කර සිටියේය.

මෙරට ක්‍රියාත්මක මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවෙන් ඉහලම ජයග්‍රහණ අත්පත්කරගෙන තිබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා  එයට හේතුව වී ඇත්තේ නිෂ්චිතව  හදුනාගත් ජනගහනයකට  සෞඛ්‍ය සේවාව අඛණ්ඩව, වගකීමක් සහිතව ලබා දීම නිසා  බවද පැවසී ය.  එම ක්‍රමවේදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත් අංශ සඳහා ද ආදේශ කළ  යුතු බව සදහන් කළ අමාත්‍යවරයා  ඒ වෙනුවෙන් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන වඨාපෘතිය ආරම්භ කළ බව ද පැවසීය.

ඒ් සදහා අඳාළ ප්‍රදේශයේ ජනතාව ලියාපදිංචිකර අවශ්‍ය මුලික පරික්ෂණ සිදුකරන බව ද, මෙම  මධ්‍යස්ථානයට අනුයුක්තවන වෛද්‍ය නිලධාරියාගේ සීමාවෙන් එහාට යන වෛද්‍ය පරීක්ෂණ සහ සෞඛ්‍ය ප්‍රතිකාර  කටයුතු සදහා

එම ජනතාවට පහසුවක් ලෙස  දිනයක්,  වේලාවක් වෙන්කර ළගම තිබෙන ද්විතීයික හෝ තෘතීයික රෝහලකට වැඩිදුර ප්‍රතිකාර සදහා  යොමුකරන බව ද අවධාරණය කර සිටියේ ය.

ජනතාවට යම් රෝගයක් වැළදී සංකූළතා ඇතිවී රෝහලට යාමට පෙරම රෝගය කළින් හදුනාගැනීම මෙම මධ්‍යස්ථානයෙන්  සිඳුකරන බවත්, විශේෂයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝගද ඇතුළත්ව  බෝනොවන  රෝග කළින් හදුනා ගැනීම සිඳුකරන බව ද පැමිණි සිටි ජනතාව හමුවේ පැවසී ය.

මෙම මධ්‍යස්ථාන තුළින් ජනතාවට සෞඛ්‍ය උපදේශණය, ඖෂධ ලබා දෙන ස්ථායක් පමනක් නොවන බවත්, අදියරෙන් අදියර දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් ද ආරම්භ කරන බවත්, ඒමෙන්ම ශාරීරික ව්‍යායාම,යෝග, මියුසික් තෙරපි වැනි දේවල් ද ඔබේ ජීවිතයට හුරුකරන තැනක් බවට පත්කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත්  පවසා සිටියේය.

බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා , පෝෂණ  සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන් ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව  ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක්  මෙම මධ්‍යස්ථානය තුළින් ජනතාවට ලබා දීමට නියමිතය.

මෙම සෑම මධ්‍යස්ථානයකට ම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු  සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මුලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයටන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී  දීප්ති වාසලගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.ඒච්.එම්.ඒ. ප්‍රේමසිංහ, මධ්‍යම  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදාර ගුණතිලක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජවරාල් දිනිප්‍රිය හේරත්,  අධ්‍යක්ෂ  (ප්‍රාථමික සත්තාර ‌සේවා) වෛද්‍ය  සරත්චන්ද්‍ර කුමාරවංශ, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී යන මහත්ම මහත්මින් ඇතුළුව රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදියන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද ප්‍රදේශයේ ජනතාව ද සහභාගී වී සිටියහ.