නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අද උදාවෙලා - ඇමති විජිත හේරත්

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව  අද උදාවෙලා - ඇමති විජිත හේරත්
  • SocialShare:

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව  අද  ජනතාවට උදා වී ඇතැයි විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍ය  විජිත හේරත් මහතා පැවසීය. අද(27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මේ රටේ බහුතරයක් ජනතාව පසුගිය කාලය පුරාවට බලාපොරොත්තු වූ දෙයක් තිබෙනවා. ඒ තමයි නීතිය සැමටම සාධාරණව ක්‍රියාත්මක වීම. අපේ රටේ මෙතෙක් කලක් නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වුණේ නැහැ. බලපුළුවන්කාරකම්, ධනය, බලය මත නීතිය ක්‍රියාත්මක වුණා. මේ  සම්බන්ධයෙන් අද ජනතාවගේ සතුටක් තිබෙනවා. ඉදිරියේදී මෙම යාන්ත්‍රණය තවත්  ශක්තිමත්ව ඉදිරියට යයි කියන බලාපොරොත්තුව ජනතාවට තිබෙනවා. ඒ වගකීම ඉටු වෙමින් තිබෙනවා.  රජයේ නිලධාරින්ට, දේශපාලනයේ නිරත වූ අයට තරාතිරම බලන්නේ නැහැ.  දැනට රාජයේ නිලධාරින් ලෙස කටයුතු කරන , චෝදනාවලට ලක් වූ අයට නීතිය ක්‍රියාත්මක වෙනවා.  කිසිදු  පළිගැනීමක් මෙතන නැහැ"