රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හා ඒ ආශ්‍රිත ගැටලුවලට විසඳුම් සෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හා ඒ ආශ්‍රිත ගැටලුවලට විසඳුම් සෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක්
  • SocialShare:

රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් විෂමතා හා ඊට සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක් පසුගියදා පත් කෙරිණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ සභාපතීත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මේ බව තීරණය විය.

දැනට බලාත්මක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 සහ 3/2016 මගින් රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධ කාරණා තීරණය වන බවත් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවලට අදාළ රාජකාරී නිශ්චිත නොවීමත් විවිධ විෂමතා හා නොගැළපීම් හමුවේ අතෘප්තිකර තත්ත්වයන් හේතුවෙන් මේ සම්බන්ධ විවිධ සංවාද සහ කථිකාවන් පසුගිය කාලයේ ඇතිවූ බවත් මෙහිදී අදහස් දැක්වූ අනුකාරක සභාවේ සභාපතිවරයා පැවසීය. ඒ අනුව රාජ්‍ය සේවයේ වෘත්තීය බව ඉහළ නැංවීම සඳහා දැනට පවතින තනතුරු සහ ඊට අදාළ කාර්යයන්, වැටුප් තල යනාදිය පිළිබඳ විද්‍යාත්මක සමාලෝචනයකින් අනතුරුව සමස්ත රාජ්‍ය සේවයේ නව වැටුප් ව්‍යුහයක් හදුන්වා දීමට අවශ්‍ය යෝජනා මෙම අනු කාරක සභාව මගින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ක්ෂේත්‍රයට අදාළ ගැටලු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහිදී කාරක සභාවේ අවධානයට යොමු කළහ. මේ අනුව ඒ සදහා අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන ලෙස කාරක සභා සභාපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.