චීනයේ කුන්මින් නගරයේ දී හෙට(11) ආරම්භ වන 10 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය - 2026 සඳහා සහභාගි වීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ.
අමාත්‍යවරයා සමඟ වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා මහතා ඇතුළු පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටියි.
හෙට (11) ආරම්භ වන 10 වන චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය ලබන 16 වනදා තෙක් චීනයේ, කුන්මිං නුවර ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයටම ඉතා වැදගත් ආර්ථික සන්ධිස්ථානයක් වන මෙම ප්‍රදර්ශනය, චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.
රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක ප්‍රදර්ශකයන් සහ ආයතන සහභාගී වන මෙම ප්‍රදර්ශනයට මෙවර ලාංකික අපනයනකරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200කට වැඩි පිරිසක් එක් වේ.
ලොව දෙවන විශාලතම ආනයන වෙළෙඳපොළක් සහිත චීන වෙළෙඳපොළට සෘජුවම ප්‍රවේශවීමට සහ එරට ගැනුම්කරුවන් හඳුනා ගැනීමට මේ හරහා අවස්ථාව සැලසෙන අතර ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු, කුළුබඩු, මැණික්, ආයුර්වේද නිෂ්පාදන, ආහාර හා ඇඟලුම් වැනි නිෂ්පාදන සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.
හෙට(11) ඇරඹෙන මෙම 10වන චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනය සදහා මෙවර සහභාගී වන ව්‍යවසායකයන් වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් නොමිලේ ප්‍රදර්ශන කුටි පහසුකම් සලසා දී තිබේ.
ශ්‍රී ලංකාවට ආවේණික සන්නාම ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ලැබෙන මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ ශ්‍රී ලාංකික ප්‍රදර්ශන කුටි අතරට මෙවර ප්‍රථම වරට ධීවර නිෂ්පාදන සහිත කුටියක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ද මෙවර වෙළෙඳ කුටියක් වෙන් කර තිබෙන්නේ රජයේ ප්‍රවර්ධන ආයතනයක් ලෙස සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙන්ම නව ආයෝජන අවස්ථා ළඟා කර ගැනීමේ අරමුණින්.
මෙවර ප්‍රදර්ශනයේ හරිත බලශක්තිය සහ සේවා වෙළෙඳාම සදහා AI සහ ඩිජිටල් තාක්ෂණයෙන් විශේෂීකරණය වූ කුටි වෙන්කර තිබෙන අතර එමගින් චීනයේ දියුණු තාක්ෂණය දකුණු ආසියානු කලාපයට හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ.


