ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පැවැත්වූ දෙවන දේශපාලන උපදේශන පසුගියදා මාර්ගගත ක්‍රමයට සාර්ථකව පැවැත්විණි.
මෙම සාකච්ඡාවලට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ ඕෂනියා අධ්‍යක්ෂ බෙනොයිට් ගිඩේ මහතා සම-සභාපතිත්වය දැරීය.
මෙහිදී ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා, නාවික සහ ආරක්ෂක සහයෝගිතාව, වෙළඳ, සංචාරක, සංවර්ධනය හා අධ්‍යාපන සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රංශය ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර පිළිබඳව ශ්‍රී ලංකාව සිය කෘතඥතාවය පළ කළ අතර, ප්‍රංශ ආයෝජන, සංචාරක පැමිණීම් සහ සංවර්ධන සහයෝගිතාවයේ වර්ධනයද අගය කරන ලදී.
එසේම, සමුද්‍රීය අධ්‍යයන සඳහා වන කලාපීය මධ්‍යස්ථානය (RCMS) පිහිටුවීම වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත් දෙපාර්ශ්වයම, දේශගුණික වෙනස්වීම් හා තිරසාර සාගර පාලනය පිළිබඳ සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳවද අවධානය යොමු කර තිබේ.


